උසස් පෙළ සිසුවා මුඛයට වෙඩි තබාගෙන මියගිහින්

උසස් පෙළ සිසුවා මුඛයට වෙඩි තබාගෙන මියගිහින්

රැකියාවට යන මවට වැඳ කාමරයට වී දොරගුලුලාගත් උසස් පෙළ පාසල් සිසුවෙකු ප⁣⁣තොරම් තුවක්කුවකින් මුඛයට වෙඩි තබාගෙන මියගොස් ඇතැයි ගම්පොළ ඇත්ගාල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ, ගම්පොළ පාර උලපනේ පදිංචි කේ.එම්.බි.ආර්.ජි. කුලසේකර නමැති 18 හැවිරිදි සිසුවෙකි.

ඔහු ගණිත අංශයෙන් මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ ඉගෙන ගත් අයෙකි.

මෙම සිසුවා සඟවා තිබූ පියා සතු ගිනිඅවිය සොයා ගෙන සිය කාමරයේ පුටුවක වාඩි වී මෙම වෙඩි තබා ගැනීම සිදුකරගෙන ඇති අතර එයින් හිසේ පසුපසට බරපතල හානි සිදුව ඇතැයි පොලිසිය පවසයි.

මව, පියා රැකියා සඳහා නිවසින් පිටත්ව ගිය පසු සහෝදරයා සමග ඔහු නිවසේ සිට ඇත.

සහෝදරයාද සේවය සඳහා යාමට සුදානම්ව පෙරවරු 10 ට පමණ මෙම සිසුවාට කතා කිරීමට කාමරයේ දොර අරින විට මෙම සිද්ධිය දැක ඔහු ඒ පිළිබඳව පොලිසිය වෙත දන්වා තිබේ.

මෙම සිසුවා A සාමාර්ථ 08ක් හා B සාමාර්ථයක් සහිතව අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත් වී තිබේ.

නියමිත කාලයට වසරකට කලින් උසස් පෙළට සූදානම් වූ මොහුට විභාගය කරගැනීමට නොහැකි වෙතැයි බියක් තිබූ බවද පැවසේ.

මෙම සිසුවා ඔන්ලයින් පාඩම් වැඩිපුරම කර ඇති අතර පරිගණකය හා ජංගම දුරකථනය නිතර පරිහරණය කර තිබේ.

සිසුවා වීඩියෝ ක්‍රීඩාවට ඇබ්බැහි වී ඇති බවට සැක කරන බවද එසේම විභාගය පිළිබඳව සිතා සිටීමෙන් ඔහු මානසික ආතතිය හා දැඩි පීඩනයට ලක්ව සිටින්නට ඇති බවටද පොලිසිය සැක පල කරයි.

ගම්පොළ වැඩ බලන මහේස්ත්‍රාත් නන්දනි කාන්තිලතා මහත්මිය මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ දින පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබුණි.

ගම්පොල කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී අසංක බණ්ඩාර ගුණතිලක සහකාර පොලිස් අධිකාරී එච්.චම් හේරත් යන මහත්වරුන්ගේ උපදෙස් මත ඇත්ගාල වැඩ බලන ස්ථානාධිපති, වෙළගෙදර ස්ථානිය අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චම්පික විමලරත්න, පොලිස් සැරයන්වරුන් 2191 නිලන්ත 21002 බන්දුල යන නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ.