පාසල් සිසුන්ට විශේෂ දැනුම් දීමක්

පාසල් සිසුන්ට විශේෂ දැනුම් දීමක්

අ.පො.ස. උසස් පෙළ සහ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් පිරිනැමෙන ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදානය අද (12) සිට දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කිරීමට නියමිතයි.

කොළඹ දිස්ත්‍රික්කයට අදාළ ශිෂ්‍යත්ව ලබාදීම පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී සිදු කෙරුණු අතර අනෙකුත් දිස්ත්‍රික්ක 24ට අදාළ ශිෂ්‍යත්ව පිරිනැමීම අද සිට දීප ව්‍යාප්තව සිදු කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ තෝරාගත් සිසුන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය අද සහ එළෙඹෙන 15 වනදා සිදු කෙරෙන අතර, බදුල්ල, මාතලේ සහ යාපනය දිස්ත්‍රික්කවල ජුලි 13 වන දින ද, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ජූලි 14 වන දින ද, ගම්පහ දිස්ත්‍රික්කයේ ජූලි 16 සහ 17 යන දිනයන්හිදී ද සිදුකෙරෙනු ඇති.

ගාල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල දරුවන් සඳහා ජූලි 15 දින ද, වවුනියාව, මඩකලපුව, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය දිස්ත්‍රික්කවල ජුලි 16 දින ද, ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු කිරීමට නියමිතය.

දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන්, සියලු කලාප අධ්‍යාපන කාර්යාල සහ විදුහල්පතිවරුන්ගේ සම්බන්ධීකරණයෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කෙරෙන අතර පළමු අදියරේ දී ශිෂ්‍යත්ව ලාභීන්ගෙන් කොටසක් පමණක් ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සව සඳහා කැඳවීමට නියමිත බව සඳහන් වේ.

කෙසේ වුවද පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා දිවයිනේ පාසල් 10,126 ම ආවරණය වන පරිදි තෝරාගන්නා ලද ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා මසකට ‍රු.3000/- බැගින් මාස 12ක කාලයක් සඳහා ලබාදෙන ශිෂ්‍යත්ව වැඩසටහනට අදාළව තවමත් ඇතැම් පාසල් මඟින් අයදුම්පත් ඉදිරිපත් කර නොමැති බවද පැවසේ.

ඒ අනුව අයදුම්පත් ඉදිරිපත් නොකළ පාසල් වල විදුහල්පතිවරුන්හට අයදුම්පත් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස දන්වා තිබෙන අතර ශිෂ්‍යත්ව සඳහා අයදුම් නොකරන ලද පාසල් පිළිබද ලැයිස්තුවක් සියළුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ලබා දී තිබෙනවා.

ඒ අනුව යම් පාසලකින් ශිෂ්‍යත්ව සඳහා අයදුම්කර නොමැති නම් ඒ පිළිබඳව සොයා බලා අයදුම්පත් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති අරමුදල දෙමාපි‍යන්ගෙන් සහ දූ දරුවන්ගෙන් ඉල්ලා සිටියි.

දිස්ත්‍රික් මට්ටමින් සිදුකරන මෙම ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සව පිළිබඳව යාවත්කාලීන කරන ලද තොරතුරු දැන ගැනීම සඳහා ජනාධිපති අරමුදලේ facebook.com/president.fund යන නිල facebook පිටුව වෙත යොමු වන ලෙස ද ජනාධිපති අරමුදල වැඩිදුරටත් දැනුම් දෙනවා.

මෙම ශිෂ්‍යත්ව ප්‍රදානයන් පිළිබඳව වැඩිදුර තෙරතුරු අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මඟින් ලබාගත හැකි අතර එහිදී යම් ගැටළුවක් මතුවුවහොත් පමණක් 0112354354 – දිගු අංක 4835 ඔස්සේ සහ 0740854527 (Whatsapp පණිවිඩ පමණි) මඟින් ජනාධිපති අරමුදලේ නිලධාරින් සම්බන්ධ කර ගත හැකියි.

මේ අතර සුරක්ෂා රක්ෂණය ද නැවතත් දරුවන් ට ලබා දීමේ කටයුතු ආරම්භ කර ඇති බව හිටපු අධ්‍යාපන අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ්කාරියවසම් මහතා සඳහන් කළේය.