ජනපති සතු විධායක බලතල ඉවත් නොකළ යුතුයි – සරත් ෆොන්සේකා

ජනපති සතු විධායක බලතල ඉවත් නොකළ යුතුයි – සරත් ෆොන්සේකා

ජනාධිපතිවරයා සතු විධායක බලතල ඉවත් නොකළ යුතු අතර එම තනතුරට සුදුසු පුද්ගලයකු පත්වී පාර්ලිමේන්තුවේ සිටින සොරුන් ඉවත්කර දූෂණය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන පිරිසිදු කළ යුතු යැයි බව ජනාධිපති අපේක්ෂක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි .

දූෂිත දේශපාලන සංස්කෘතියේ ප්‍රතිඵල හේතුවෙන් මේ වන විට රටම ගිලගෙන ඇති බවත් මෙම තත්ත්වයෙන් මිදීමට පක්ෂවලට වහල් නොවී ස්වාධීනව සහ බුද්ධිමත්ව කටයුතු කර ජාතික නායකයන්ට රට භාරදීමට සියලු දෙනා කටයුතු කළ යුතු බව ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා පවසයි.

එකම කණ්ඩායම් විවිධ දේශපාලන පක්ෂ නිර්මාණය කර ගනිමින් ජනතාව ළඟට පැමිණියද ඔවුන්ගේ මානසිකත්වය වෙනස්වී නොමැති බවත් මොවුන් කිසිවිටක රට ගැන හෝ රටේ අනාගතය ගැන පිළිබඳව සිත කටයුතු නොකරන බවත් සරත් ෆොන්සේකා මහතා පවසයි .

ඒ මහතා මේ බව කියා සිටියේ ඓතිහාසික රුවන්වැලි සෑ රදුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි .

සමගි ජන බලවේගයේ දොරගුළු විවෘත කරමින් ඕනෑම සොරෙකුට වුවද පක්ෂයට එක්වීමට අවස්ථා උදාකරිම හේතුවෙන් තමන්ට එම පක්ෂය තුළ අභිමානයෙන් යුතුව කටයුතු කිරීමට හැකියාවක් නොමැති හෙයින් තමන් ඉන් ඉවත් වූ බවත් පරිණත බව හා නායකත්වය ලබාදීමට නොහැකි පුද්ගලයන් ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසු නොමැති බවත් සරත් ෆොන්සේකා මහතා පවසා සිටියේය.

රටේ දූෂණය සහ අවභාවිතය නැවැත්වීම, සොරුන්ට දඬුවම් දීම හා මත්ද්‍රව්‍ය උවදුරු සහ පාතාලයෙන් රට මුදවා ගැනීම, සංචාරක ක්ෂේත්‍රය දියුණු කරමින් විදේශ විනිමය ළඟා කර ගැනීම , කෘෂිකර්මය, ධීවර සහ සත්ව පාලනය වැනි ක්ෂේත්‍ර දියුණු කිරීම හා අධ්‍යාපනය සෞඛ්‍ය හා පොදු ප්‍රවාහනය ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒම සදහා කටයුතු කිරීම තමන්ගේ බලාපොරොත්තුව බව ද ඒ මහතා පවසා සිටියේය.