ජ්‍යෙෂ්ඨතම නිලධාරියා නීතිපති විය යුතු බවට නියමයක් නැහැ – ජනාධිපති ලේකම් නීතිඥ සංගමයට දන්වයි

ජ්‍යෙෂ්ඨතම නිලධාරියා නීතිපති විය යුතු බවට නියමයක් නැහැ – ජනාධිපති ලේකම් නීතිඥ සංගමයට දන්වයි

නව නීතිපතිවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කරන ලද ලිපියට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පිළිතුරු ලිපියක් මඟින් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

නීතිපතිවරයා ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා පත් කළ යුතු බවට ව්‍යවස්ථාපිත බැඳීමක් නොමැති බවයි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අදාළ ලිපියෙන් දැනුම් දී තිබෙන්නේ.

ජනාධිපති ලේකම්වරයා මේ බව දැනුම් දී ඇත්තේ සංජේ රාජරත්නම් විශ්‍රාම යෑමෙන් පසු මීළඟ නීතිපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව නීතිපතිවරයා පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 සී ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයාට ඇති බලය ජනාධිපති ලේකම්වරයා අදාළ ලිපියෙන් අවධාරණය කර තිබේ.

දෙපාර්තමේන්තු ඉතිහාසයේ පූර්වාදර්ශ පෙන්වා දෙමින් ඔහු සඳහන් කර ඇත්තේ ජනාධිපති නීතිඥ සරත් එන් සිල්වා සහ ජනාධිපති නීතිඥ මොහාන් පීරිස් වැනි පුද්ගලයන් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට පරිබාහිරව පත් කළ අවස්ථා බවයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිදු කරන ලද 2016 පත්වීම් ක්‍රියාවලිය පිළිබඳව ද ජනාධිපති ලේකම්වරයා සිය ලිපිය මගින් සිහිපත් කර තිබේ.

එහිදී ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය නීතිපතිවරයා ලෙස තෝරා ගැනීමට පෙර අපේක්ෂකයන් කිහිප දෙනෙකු සළකා බැලූ බව ඔහු පෙන්වා දී ඇත්තේ සුදුසුකම් ලත් සියලුම අපේක්ෂකයන් ඇගයීමේ වැදගත්කම ද අවධාරණය කරමිනි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් චතුර ඒ ගල්හේන විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යොමුකළ ලිපිය මගින් යෝජනා කර තිබුණේ ස්ථිර පැවැත්ම, ස්ථාවරත්වය සහ අභ්‍යන්තර ධුරාවලියට ගරු කිරීම යන කරුණු සළකා නීතිපති දෙපාර්තමේන්තුව තුළ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා නීතිපතිවරයා ලෙස පත් කරන ලෙසයි.