ආර්. සම්පන්දන් අභාවප්‍රාප්ත වෙයි

ආර්. සම්පන්දන් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

රෝගාතුරව සිටි සම්පන්දන් මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

1933 පෙබරවාරි මස 05 වන දින උපත ලද ආර්. සම්පන්දන් මහතා මිය යන විට 91 හැවිරිදි වියේ පසු වුණි.

ආර්.සම්පන්දන් මහතා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 1977 වසරේ දී පාර්ලිමේන්තුවට තේරී පත්වුණි.

සම්පන්දන් මහතා මෙම වසර මුල දක්වා දෙමළ ජාතික සන්ධානයේ නායක ලෙස ද කටයුතු කළ අතර ඒ මහතා 2015 වසරේ සැප්තැම්බර් 03 වන දින සිට 2018 දෙසැම්බර් 18 වන දින දක්වා විපක්‍ෂ නායකයා ලෙස ද කටයුතු කළේය.

එමෙන්ම, ඔහු යාපනය, ශාන්ත පැට්‍රික් විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ද, කුරුණෑගල, ශාන්ත ආනා විද්‍යාලය, ත්‍රිකුණාමලය, ශාන්ත ජෝශප් විද්‍යාලය සහ මොරටුව, ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා තිබේ.

මේ අතර ආර්. සම්පන්දන් මහතාගේ අවමංගල්‍ය කටයුතු පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේ දී දැනුම්දීමට නියමිතව තිබේ.

Share This