සජිත්ට සහය දෙන බවට සුමන්තිරන්ගේ ප්‍රකාශය ITAK නිල මතය නෙවේ – මාවෙයි සේනාධිරාජා

සජිත්ට සහය දෙන බවට සුමන්තිරන්ගේ ප්‍රකාශය ITAK නිල මතය නෙවේ – මාවෙයි සේනාධිරාජා

වව්නියාවේ පෞද්ගලික හෝටලයකදී රැස් වූ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ගත් තීරණය තම පක්ෂයේ නිල තීරණය නොවේ යැයි එහි ජ්‍යෙෂ්ඨතම නායකයකු වන මාවෙයි සේනාධිරාජා මහතා පවසයි.

විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා පැවසුවේ, පක්ෂය එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

මේ තීරණය ගැනීමට පක්ෂයේ සාමාජිකයන් රැස්වන බවක් තමන් නොදන්නා බව කී ඒ මහතා සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කිරීමක් සම්බන්ධයෙන්ද තමා නොදන්නා බවත් පවසයි.

මේ නිසා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නිල තීරණයක් ලෙස මෙම තීරණය සැලකීමට හැකියාවක් නොමැති බව ද සේනාධිරාජා මහතා පවසයි.

ඉලංකයෙහි තමිල් අරසු කච්චි පක්ෂයේ නායකයා ලෙස පත්කර ගත් එස්.ශ්‍රී ධරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.සී යෝගේශ්වරන්, ශ්‍රී නේෂන් මහත්වරුන් ඇතුළු ප්‍රධාන පෙළේ නායකයන් අදාළ තීරණය ගත් රැස්වීමට සහභාගී වී නැතැයි ද මාවෙයි සේනාධිරාජා මහතා පවසයි.

පක්ෂයේ දෙතුන් දෙනකු රැස් වී ගත් මේ තීරණය වලංගු නොවන බව ද ඔහු ප්‍රකාශ කරයි.

මෙවර ජනාධිපතිවරණයේ දී ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සහාය සජිත් ප්‍රේමදාස මහතාට දෙන බවට ඊයේ (01) දිනයේ දී නිකුත් කළ නිවේදනය තනිකරම පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් විසින් සිදු කරන ලද්දක් බවත් එය පක්ෂයේ නිල ස්ථාවරය පිළිබිඹු නොකරන බවත් ඔහු සඳහන් කළේය.

මේ අතර නීතිඥ එන් කේ අශෝක්බරන් එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කරන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීදරන් මහතා එක්සත් රාජධානියේ රැදි සිටින අතරතුර ගත් මෙම තීරණය ඔහුගේ සහභාගීත්වයෙන් තොරව ගෙන ඇති බවයි.

එබැවින් එම තීරණය ශ්‍රීදරන් භාරගනීවිද එසේත් නැතිනම් ඉලංගෙයි තමිල් අරසු පක්ෂය තම ස්ථාවරය වෙනස් කරයිද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව ඔහු පවසයි.