හිටපු මන්ත්‍රී සහන් බස්නාහිර පළාත් සභාවට ලක්ෂ 53කට අධික ණයක් පියවයි

හිටපු මන්ත්‍රී සහන් බස්නාහිර පළාත් සභාවට ලක්ෂ 53කට අධික ණයක් පියවයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහු බස්නාහිර පළාත් සභාවට ගෙවා අවසන් කර ඇත.

සහන් ප්‍රදීප් මහතාගේ පාවිච්චිය සඳහා බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලෑන්ඩ් රෝවර් වර්ගයේ ජීප් රථයක් 2021 වර්ෂයේ දී ලබා දී තිබූ අතර එය 2022 වර්ෂයේදී අනතුරකට ලක් වීමෙන් දැඩි ලෙස හානිවී තිබිණ.

රුපියල් කෝටි දෙකකට ආසන්න මෙම හානියට අදාළව රක්ෂණ සමාගමෙන් එක්කෝටි තිස් ලක්ෂයක පමණ වන්දි මුදලක් ගෙවා තිබූ අතර සහන් ප්‍රදීප් මහතා ගෙවා අවසන් කර ඇත්තේ එහි ඉතිරි මුදල බව පළාත් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

අනතුරෙන් පසු මෙම වාහනය කාලයක සිට තිබී ඇත්තේ කොළඹ ගරාජයකය.

මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ධම්මිකා කේ. විජයසිංහ මහත්මියගෙන් කළ විමසුමකදී ඇය සඳහන් කළේ එම වාහන අනතුරට අදාළ මෙතෙක් නොගෙවා තිබූ ඉතිරි වන්දි මුදල හිටපු මන්ත්‍රීවරයා ගෙවා අවසන් කළ බවයි.

මෙම අනතුර සහ ඊට අදාළ වන්දි මුදල සම්බන්ධ කාරණය විගණන වාර්තාවල ද පසුගිය කාලයේදී සඳහන්ව තිබිණ.