සචිත්‍රගේ ගේ කැඩූ හොරා අත්අඩංගුවට

සචිත්‍රගේ ගේ කැඩූ හොරා අත්අඩංගුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ කලල්ගොඩ පිහිටි නිවසකින් රුපියල් ලක්ෂ පනහකට අධික වටිනාකමින් යුත් මුදල් හා භාණ්ඩ සොරගැනීමේ සිද්ධියට අදාල පුද්ගලයා අද (13) කොට්ටාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ, තලංගම උතුවන්කන්දේ පදිංචි 34 හැවිරිදි අයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

ඒ අනුව, අත්අඩංගුවට ගත් සැකකරුගේ නිවසේ තිබී ලැප් ටොප් යන්ත්‍රයක්, ටැබ් 02ක්, වටිනා අත් ඔරලෝසු පහක්, අත් පලදනා හතරක්, කනේ පළඳින මුදු දෙකක් රුපියල් දස දහසක මුදලක් පොලිසිය භාරයට ගෙන තිබේ.

මෙම සොරකම පසුගිය ජුනි මස 22 වනදා රාත්‍රියේ සිදුව තිබු අතර සොරකම සඳහා භාවිතා කළ යතුරු පැදියක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු මීට පෙර කොට්ටාව තලංගම මහරගම පොලිස් වසම් වල නිවෙස් හා වෙලද සැල් බිද දේපොළ කොල්ලකෑමේ සිද්ධීන් ගණනාවකට බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස්ව සිටි අයෙකි.

සැකකරු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් කොට්ටාව පොලීසිය පරීක්ෂණ පවත්වයි.