රුවන්වැල්ල සිව් හැවිරිදි දැරියගේ මරණයේ සුලමුල හෙළිවෙයි

රුවන්වැල්ල සිව් හැවිරිදි දැරියගේ මරණයේ සුලමුල හෙළිවෙයි

රුවන්වැල්ල, කිරිපෝරුව ප්‍රදේශයේ ළිඳක් තුළ තිබී හමුවූ සිව් හැවිරිදි දැරියගේ මරණය ඝාතනයක් බවට හෙළිවී තිබේ.

පොලීසිය පැවසුවේ, අදාළ දැරියගේ මව විසින් දැරිය ළිඳට දමා ඝාතනය කර ඇති බවට සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වූ බවයි.

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 4යි මාස 10ක් වයසැති කිරිපෝරුව වත්ත, යටියන්තොට ප්‍රදේශයේ පදිංචි දෙව්මි අමායා නැමැති කුඩා දැරියකි.

දැරියගේ ඝාතනය පසුගිය 16 වනදා රාත්‍රී 11ත් පසුදින අලුයම 5.30ත් අතර කාලයේ සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මියගිය දැරියගේ මව ගොළු කාන්තාවක් වන අතර, ඇය අසනීප තත්ත්වයෙන් පසුවූ බැවින් කරවනැල්ල රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටී.

දැරියගේ මෘත ශරීරය මේ වනවිට ඥාතීන්ට භාර දී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් රුවන්වැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.