13 හැවිරිදි දැරියක් වසර දෙකක් තිස්සේ සමූහ අපයෝජනය කළ පහක් අල්ලයි

13 හැවිරිදි දැරියක් වසර දෙකක් තිස්සේ සමූහ අපයෝජනය කළ පහක් අල්ලයි

වයස අවුරුදු 13 ක පාසල් සිසුවියක වසර දෙකක පමණ කාලයක සිට සමූහ අපයෝජනයකට ලක්කල බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පෞද්ගලික බස් කොන්දොස්තරවරයෙකු ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් කළුතර උතුර පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, හොරණ රෙමුණ ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙකු, කළුතර දියගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකු සහ ඇය නිවසක රඳවා ගැනීමට අනුබල දුන් පුද්ගලයෙකු බව පොලිසිය කීය.

අත්අඩංගුවට පත්වූවන් අතර දෙදෙනකු විවාහකයින් බවත් ඉන් එක් අයෙකු වයස 60 ඉක්මවූ සීයා කෙනෙකු බවද පොලිසිය සදහන් කරයි.

දැරිය සිය රෝගි දෙමව්පියන් සහ වැඩිමහල් සොහොයුරා සමග එකට ජීවත්ව සිට ඇති අතර, නිවසේ අගහිගකම් හේතුවෙන් මුදල් සහ වෙනත් දෑ ලබාදෙමින් දැරිය රවටා වසර දෙකක පමණ කාලයක සිට සමූහ අතවරයට ලක්කර ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී හෙලිව ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇති පෞද්ගලික බස් කොන්දොස්තරවරයා මාසයකට පමණ පෙර දැරිය හොරණ රෙමුණ ප්‍රදේශයේ නිවසට කැටුව ගොස් රදවා තබාගෙන අතවර කර ඇති අතර, එම කාලය තුලදී දැරිය තවත් පුද්ගලයන්ගේ ගොදුරක් බවට පත්ව ඇති බවටද තොරතුරු ලැබී ඇතැයිද උසස් පොලිස් නිළධාරියෙක් කීය.

බාලවයස්කාර දැරියක නිවසක රදවාගෙන සිටින බවට කළුතර උතුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාට ලද තොරතුරක් මත කල පරීක්ෂණ වලින් පසු ඇයගෙන් ලබාගත් ප්‍රකාශ මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

දැරිය මේ වනවිට කළුතර, නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර, සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර සහ සහකාර පොලිස් අධිකාරි දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි කළුතර උතුර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ මෙහෙයවීමෙන් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මහේෂිකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.