බිරිඳගේ ත්‍රීරෝද රියෙන් අනියම් බිරිඳ හමුවීමට යන අතරමග තවත් තරුණියක් පැහැරගෙන අතවර කරලා

බිරිඳගේ ත්‍රීරෝද රියෙන් අනියම් බිරිඳ හමුවීමට යන අතරමග තවත් තරුණියක් පැහැරගෙන අතවර කරලා

බිරිඳගේ ත්‍රීරෝද රථයෙන් අනියම් බිරිඳ හමුවීමට යන අතරමඟදී අවිවාහක තරුණියකට ලිංගික අතවර කළ බව කියන යුද හමුදා සෙබලෙකු ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කැකිරාව වැඩබන මහේස්ත්‍රාත් ‍සෙනරත් බංඩාර මහතා ඊයේ (07) නියෝග කර තිබේ.

ඒ සැකකාර සෙබලා ගල්කිරියාගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඊයේ අධීකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකරු අදාළ තරුණියට ලිංගික අතවර කිරීමට යොදා ගත් බව කියන ත්‍රීරෝද රථයක් ද මෙහිදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

විවාහක දෙදරු පියෙකු වන සැකකාර හමුදා සෙබලා සිය බිරිඳට අයත් බව කියන ත්‍රී රෝද රථයකින් ඔහුගේ අනියම් බිරිඳගේ නිවසට යමින් සිටින අතරමඟදී මෙම තරුණිය පැහැරගෙන ත්‍රීරෝද රථය තුලදී ලිංගික අතවර සිදුකර ඇතැයි පොලිසිය කියයි.

මෙම අපරාධය සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලැබී පැය 07ක් වැනි කෙටි කාලයක් තුළදී එම සැකකාර යුද හමුදා සෙබලා හා ඒ සඳහා යොදා ගත් ත්‍රීරෝද රථය අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබීම විශේෂත්වයකි.

සැකකරුගේ පැහැර ගැනීමට ලක්වූ තරුණිය එම අවස්ථාවේ ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රථයෙන් ඉවතට පැනීම හේතුවෙන් බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි ද ඇයගේ තත්වය බරපතල බවද පොලිසිය කියයි.

සැකකාර යුද හමුදා සෙබලා මෙලෙස පැහැර ගෙන ඇත්තේ පලාගල බමුණුගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23ක් වන අවිවාහක තරුණියකි.

පැහැර ගැනීමට ලක්වූ එම තරුණිය ප්‍රදේශයේ සමාජ සේවා කටයුතුවල යෙදෙමින් දහම්පාසැල් ගුරුවරියක ලෙස කටයුතු කරන බව පොලිසිය කියයි.

පලාගල බලලුවැව ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරික ආයතනයක සේවයේ නියුතු එම තරුණිය දවසේ සේවය නිමවා නිවසට යමින් සිටියදී පලාගල බලලුවැව ප්‍රදේශයේදී මෙලෙස පැහැර ගැනීමට ලක්ව තිබිණ.

සේවය නිම වී නිවසට යාම සඳහා බස් රථයක් පැමිණෙනතුරු බලලුවැව මංසන්දියේ සිට පා ගමනින් පලාගල දෙසට ගමන් කරමින් සිටියදී ත්‍රීරෝද රථයක් පදවාගෙන පැමිණි යුද හමුදා සෙබලා ඇයව උපක්‍රමශීලීව ත්‍රී රෝද රථයට නංවාගෙන තිබේ.

පසුව ත්‍රීරෝද රථය පදවන අතරතුර සැකකරු ත්‍රීරෝද රථයට නංවාගත් එම තරුණියට ලිංගික අතවරයට ලක් කර ඇති බවත් සිදුකළ විමර්ශණවලදී හෙළීව ඇතැයි පොලිසිය කියයි.

සැකකරුගේ ක්‍රියාකලාපයට අනුව තමන් පැහැරගෙන යන බවටත් ලිංගික අතවරයකට ලක්වන බවත් වටහාගත් එම තරුණීය වහා ක්‍රියාත්මකව වේගයෙන් ධාවනය වෙමින් තිබූ එම ත්‍රී රෝද රථයෙන් ඉවතට පැන ගැනීමට කටයුතු කර තිබිණ.

පලාගල මිරිහම්පිටිගම ප්‍රදේශයේදී එම තරුණිය මෙලෙස ත්‍රී රෝද රථයෙන් ඉවතට පැන ඇති බව පොලිසිය කියයි.

වේගයෙන් ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයෙන් ඉවතට පනින අවස්ථාවේ දී අනතුරට පත්ව ඇති එම තරුණීය එහිදි බරපතළ තුවාල ලබා තිබේ.

එලෙස බරපතල තුවාල ලබා සිටි තරුණිය පසුව එම ප්‍රදේශවාසීන් එක්ව රෝහල්ගත කිරීමට කටයුතු කර ඇති අතර ඇය මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටී.

තරුණියගේ තත්වය තරමක් බරපතළ බවත් ඇයට ශල්‍ය කර්මයක් සිදුකිරීමට නියමිත බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

ගල්කිරියාගම පොලිස් ස්ථානාධීපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මල් රත්නායක මහතාට ලද තොරතුරකට අනුව ගල්කිරියාගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධීපති දේශප්‍රිය නවරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් වහා ක්‍රියාත්මකව සැකකරු හා අපරාධයට යොදා ගත් ත්‍රීරෝද රථය ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

සිද්දියෙන් පසුව ත්‍රිරෝද රථය පලා යන අයුරු ද මාර්ගය අසළ තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබූ අතර ඒ ඔස්සේ පොලිස් විමර්ශන ආරම්භ කර තිබිණ.

අත්අඩංගුවට පත්ව සිටින සැකකාර හමුදා සෙබලාගේ අනියම් බිරිඳ බව කියන පලාගල මිරිහම්පිටිගම මහයාය ප්‍රදේශයේ පිහිටි කාන්තාවකගේ නිවසේ සැඟව සිටියදී අදාළ සැකකාර හමුදා සෙබලා අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධයට යොදා ගත් ත්‍රීරෝද රථයද එම කාන්තාව පදිංචි නිවසේ ගරාජයක් තුල දමා රෙදිවලින් ආවරණය කර සඟවා තිබියදී සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබිණ.

එම ත්‍රීරෝද රථයේ හඳුනා ගැනිමේ සංඛේත ලෙස තිබූ ස්ටිකර් කිහිපයක් ද ඒවනවිටත් ගලවා දමා එම රථයේ බාහිර පෙනුම ද වෙනස් කිරීමට සැකකරු කටයුතු කර තිබූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට පත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්ණ කිරීම් අනුව ත්‍රී රෝද රථයෙන් ගලවා ඉවත් කළ ස්ටිකර් කොටස් ද සැකකරු සැඟව සිටි නිවස තුළ පිහිටි කසළ බඳුනක සඟවා තිබියදී සොයා ගැනීමට පොලිසියට හැකිව තිබිණ.

මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු යුද හමුදාවේ සේවයේ නියුතු අයෙකු වන අතර ඔහු ඉපලෝගම කලාකරඹෑව මහයායගම ප්‍රෙද්ශයේ පදිංචි 31 හැවිරිදි විවාහක දෙදරු පියෙකි.

කාන්තාවක පැහැර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති එම සැකකාර සෙබලා ලක්ෂපාන ප්‍රදේශයේ යුධහමුදා කඳවුරකට අනියුක්තව සේවය කරනු ලබන අයෙකු බවට පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

සිදුකල පොලිස් විමර්ශණවලදී තවදුරටත් අනාවරණය කරගෙන ඇත්තේ, ඔහු සිය අනියම් බිරිඳ බැලීමට එම නිවසට යන අතරතුරදී මෙම තරුණීය පැහැර ගැනීමට කටයුතු කර ඇති බවයි.

අත්අඩංගුවටපත් සැකකාර හමුදා සෙබලා අද (07) කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර තිබූ අතර එහිදී අධිකරණයෙන් ලත් නියෝග අනුව සැකකාර හමුදා සෙබලා ලබන 12 වනදා දක්වා රක්ෂීත බන්ධාගාර ගත කෙරිණ.

ගල්කිරියාගම පොලිස් ස්ථානය මඟින් සිද්දිය සම්බන්ධයෙන් වූ විමර්ශණ සිදු කරනු ලබයි.

Share This