රනිල්ගේ මංගල ජන රැළිය අනුරාධපුරේ – අනුරගේ මංගල ජන රැළිය තංගල්ලේ

රනිල්ගේ මංගල ජන රැළිය අනුරාධපුරේ – අනුරගේ මංගල ජන රැළිය තංගල්ලේ

ඉදිරි ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟවදින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කෙරෙන ජන රැළි මාලාවේ පළමුවැන්න අද පැවැත්වෙනවා.

පස්වරු 02ට එම ජන රැළිය ආරම්භ වන්නේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදීයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම ජන රැළියට “පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට ඊයේ දිනයේ අත්සන් කළ පක්ෂ 34හි නියෝජිතයින්ද එක්වනවා.

මේ අතර, ඉදිරි ජනාධිපතිවරණය කේන්ද්‍ර කර ගනිමින් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධාන කරන ජන රැළි මාලාව දකුණු පළාතෙන් අද ආරම්භ වනවා.

ඒ අනුව තංගල්ල නගරයේදී පළමු ජන රැළිය පස්වරු 02යි 30ට ආරම්භ වනවා.

මාතර ජන රැළිය පස්වරු 03යි 30ටත් ගාල්ල ජන රැළිය පස්වරු 04ටත් ආරම්භ වීමට නියමිතයි.

“රුහුණ පෙරට – රට අනුරට” යන තේමාව යටතේ එම ජන රැළි පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පැවසුවේ.

සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානයේ ජන රැළි මාලාවේ මංගල රැළිය කුරුණෑගලදී ඊයේ පැවැත්වුණා.

“සැමට ජයක් – සමගි රටක්” යන තේමාව යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම ජන රැළිය පැවැත්වුණා.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධාන කරන ජන රැළි මාලාවේ මංගල රැළිය ලබන 21 වනදා පැවැත්වෙනවා. ඒ, අනුරාධපුරයේදීයි.