දුප්පත්ම අපේක්ෂකයා රනිල් – පොහොසත්ම අපේක්ෂකයා දිලිත්

දුප්පත්ම අපේක්ෂකයා රනිල් – පොහොසත්ම අපේක්ෂකයා දිලිත්

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන්ගෙන් වැඩිම මාසික අදායමක් ලබන අපේක්ෂකයා දිලිත් ජයවීර බවත් අඩුම මාසික අදායමක් ලබන අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ බවත් ශ්‍රී ලංකා අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභා වෙබ් අඩවිය පසුගියදා ප්‍රසිද්ධියට පත්කළ අපේක්ෂකයන්ගේ වත්කම් ප්‍රකාශනයෙන් අනාවරණය වී තිබේ.

මෙවර ජනාධිපතිවරණයට මව්බිම ජනතා පක්ෂයෙන් ඉදිරිපත් වන ව්‍යාපාරික දිලිත් ජයවීර මහතාගේ මාසික ආදායම රුපියල් 16,500,000 ක් බව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභා වෙබ් අඩවිය ප්‍රසිද්ධියට පත්කළ තොරතුරුවලින් හෙළිවිය. දිලිත් ජයවීර මහතා මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන අතර ඔහුට අයත් ව්‍යාපාර අතර මෙරට ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක්ද වේ.

දෙවැනි ස්ථානයට වැඩිම මාසික ආදායමක් ලබන්නේ ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා බවත් ඔහු මාසික ආදායම රුපියල් 1,345,000 බවද එහි සඳහන් විය. විජේදාස රාජපක්ෂ මහතා පූර්ණකාලීන දේශපාලනඥයකු වන අතර ඔහු ව්‍යාපාර ක්‍රියාකාරකම් වලද නිරත වේ.

එසේම මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් ප්‍රධාන අපේක්ෂකයන් ලෙස සැලකෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ මාසික ආදායම 454,285 ක් ලෙසද, සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මාසික ආදායම රුපියල් 285,681 ලෙසද අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභා වෙබ් අඩවිය සඳහන් වූවේය.

එසේම ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ මාසික ආදායම 256,802 ක් ලෙසද, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ මාසික ආදායම රුපියල් 317,786 ක් ලෙසද, ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ මහතාගේ මාසික ආදායම රුපියල් ලක්ෂ 3 ක් ලෙසද, එම වෙබ් අඩවියේ දැක්විණ.

නාම යෝජනා බාර දෙන අවස්ථාවේ වත්කම් බැරකම් ප්‍රකාශනයක්ද ජනාධිපතිවරණ අපේක්ෂකයන් මැතිවරණ කොමිසමට ඉදිරිපත් කිරීමට සිදුවූ ප්‍රථම අවස්ථාවද මෙය වේ.