විශේෂ පාපැදි සවාරියක්

විශේෂ පාපැදි සවාරියක්

සියදිවි හානිකර ගැනීමේ සිතිවිලි හෝ ක්‍රියාවන්ට මග පාදන විවිධ පීඩන සහ අර්බුද වලින් හිරිහැර විඳින පුද්ගලයන්ට එයට පිළිතුරක් ලබා ගැනීම සඳහා මග පෑදීමට නොමිලේ ක්‍රියාත්මක වන 1333 දුරකතන අංකය සහ එම සේවාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් සංවිධානය කරන “බයිකතන් 2024” පාපැදි සවාරියේ පළමු අදියර හෙට (29) කොළඹ නිදහස් චතුරශ්‍රයෙන් ආරම්භ වේ.

“බයිකතන් 2024” පාපැදි සවාරියේ මුළු දුර ආසන්න වශයෙන් කිලෝ මීටර 1333 ක් වන අතර පළමු අදියර කොළඹින් ආරම්භ වී කිතුල්ගලින් අවසන් වනු ඇත.

මෙවර බයිකතන් පාපැදි සවාරිය තේමාව “ජීවිත බේරා ගැනීමට යන ගමන්” ලෙස නම් කර තිබේ. සී.සී.සී පදනම මගින් පවත්වා ගෙන යන 1333 අර්බුද නිරාකරණ සේවාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා වාර්ෂිකව බයිකතන් පාපැදි සවාරිය සංවිධානය කරනු ලබයි.

මෙවර පාපැදි සවාරිය පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා ඊයේ (27) මාධ්‍ය හමුවක් පැවැති අතර එහිදී සී.සී.සී පදනමේ නිර්මාතෘ ජේත දේවපුර මහතා කියා සිටියේ 2009 වසරේ ඇරැඹී 1333 දුරකතන අර්බුද නිරාකරණ සේවයට මේ වනවිට ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට සහාය වීමට හැකියාව ලැබී ඇති බවයි.

වාර්ෂිකව පවත්වන “බයිකතන්” පාපැදි සවාරියට සාර්ථකව 1333 ගාස්තු රහිත අර්බුද නිරාකරණ සේවය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට හැකියාව ලැබී තිබෙන බවත් මේ වනවිට ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීමේ අනුපාතය පහළ දැමීමට යම් ආකාරයක දායකත්වයක් ලබාදීමට 1333 දුරකතන අංකයට හැකියාව ලැබී තිබෙන බවත්ය.

සියදිවි හානි කර ගැනීම් තුළින් දිනකට ශ්‍රී ලාංකිකයන් 8 ත් 10 ත් අතර ප්‍රමාණයක් මිය යන බවත් එලෙස මියයන සෑම පුද්ගලයකුටම අනුපාතිකව සියදිවි නාසා ගැනීමට උත්සාහ කරන තවත් 30 කට වඩා වැඩි පිරිසක් සිටින බවත් දේවපුර මහතා පැවැසුවේය.

එහෙයින් 1333 දුරකතන අංකය ක්‍රියාත්මක කිරීමේ අරමුණ වන්නේ සියදිවි හානිකර ගැනීමේ සිතිවිලි හෝ ක්‍රියාවන්ට මග පාදන විවිධ පීඩන සහ අර්බුද වලින් හිරිහැර විඳින පුද්ගලයන් හඳුනාගනිමින් එම පීඩන සහ අර්බුද වලට මුහුණදීමට ඔවුන් හැඩගැස්වීම සහ බලගැන්වීම බව දේවපුර මහතා ප්‍රකාශ කළේය.

මාධ්‍ය හමුව කොළඹ ඒ.සී.එල් සමාගමේ ශ්‍රවණාගාරයේදී පැවැත්වූ අතර එයට සී.සී.සී පදනමේ නිර්මාතෘ ජේත දේවපුර සහ සී.සී.සී පදනමේ ශ්‍රී ලංකා සභාපති සුරේෂ් මෙන්ඩිස් ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගී වූහ.