මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.

ඒ අනුව, අද මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණ දිනය දක්වා නිහඬ කාලය ක්‍රියාත්මක වන අතර ඒ අතරතුර කිසිදු ප්‍රචාරක කටයුත්තක් සිදු කළ නොහැකි බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේය.

එම කාලයේදී ප්‍රචාරක කටයුතු කරන ඡන්ද අයැදීම කරන සියලු අපේක්ෂකයන් සහ ආධාරකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට උපදෙස් දී ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.

නිහඬ කාලයේ දී ඡන්ද ආයාචනා කිරීමට ගෙන් ගෙට යෑමද පෙළපාළි පැවැත්වීම ද නීති විරෝධී බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

කෙසේවෙතත්, අපේක්ෂකයින් පිහිටුවා ඇති මැතිවරණ කාර්යාල ඉවත් කර ගැනීම සඳහා හෙට (12) මධ්‍යම රාත්‍රිය දක්වා කල් ලබා දීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

මහ මැතිවරණ ඡන්ද විමසීම ලබන 14 වැනිදා පැවැත්වීමට අදාළ සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේය.

ඡන්ද පොළට සාමකාමීව ගොස් ඡන්දය පාවිච්චි කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඡන්ද විමසීම පැවැත්වෙන දින මැතිවරණයේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමිෂන් සභාව සහ පොලිසිය කටයුතු යොදා ඇත.

මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති.