වරප්‍රසාද කපා හැරීමට එරෙහිව හිටපු ජනපතිවරුන්ගෙන් පෙරමුණක්

වරප්‍රසාද කපා හැරීමට එරෙහිව හිටපු ජනපතිවරුන්ගෙන් පෙරමුණක්

තම වරප්‍රසාද කප්පාදුවට එරෙහිව හඬ නැගීමට හිටපු ජනපතිවරුන්ගේ මූලිකත්වයෙන් පෙරමුණක් පිහිටුවා ගැනීමට අවධානය යොමුවී තිබේ.

මේ සම්බන්ධයෙන් තනි තනිව සටන් කිරීමට වඩා සාමූහිකව කටයුතු කිරීම ප්‍රතිඵලදායක බව බොහෝ හිටපු ජනාධිපතිවරුන්ගේ අදහසවී ඇති බවයි වාර්තා වන්නේ.

වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය මෙහෙයවීමෙන් පැවති විද්වත් කතිකාවතට ජනාධිපතිවරුන් කිහිපදෙනෙකු එක්වී රටේ ප්‍රශ්න සම්බන්ධයෙන් අදහස් දැක්වීමද එහි මූලික පියවරක් බව ආරංචි මාර්ග සඳහන් කළේය.

සිය වරප්‍රසාද කප්පාදු කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරුන් කිහිපදෙනකුම දැනටමත් සිය විරුද්ධත්වය දක්වා ඇත.

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව කරුණු සමාලෝචනය කිරීමට පත් කෙරුණු ත්‍රිපුද්ගල කමිටුවටද හිටපු ජනාධිපතිවරුන් මේ සම්බන්ධයෙන් දැනටමත් කරුණු ඉදිරිපත් කර තිබේ.

ජීවත්වීමේ අපහසුතා සම්බන්ධයෙන් මෙහිදී වැඩි වශයෙන් කරුණු ඉදිරිපත්ව ඇතැයි දැනගන්නට ඇත.

හිටපු ජනාධිපතිවරුන්ට දැනට ලබාදී ඇති පහසුකම් වැඩි බවට සමාජ කතිකාවතක් ඇතිවීම හේතුවෙන් රජය ඒ සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීමට මෙම ත්‍රිපුද්ගල කමිටුව පත් කළේය.

එම කමිටුවේ නිර්දේශ අනුව හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තීරණයක් ගැනීමට නියමිතය.

කෙසේ වෙතත් වරප්‍රසාද අඩු කරන්නේ නම් හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳ පනත් කෙටුම්පතට අලුතින් සංශෝධන ගෙන ආ යුතු බව නීති විශාරදයෝ පෙන්වා දෙති.