ජනාධිපතිවරණයට සියල්ල සූදානම්
2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීම හෙට (21) පැවැත්වීමට අදාළ සියලු කටයුතු සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය.
මෙවර ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි සමස්ත ඡන්දදායකයන් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක්ලක්ෂ හතළිස්දහස් තුන්සිය පනස් හතරක් වන අතර හෙට (21) ජනතාව දිවයින පුරා මධ්‍යස්ථාන රැසකදී ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානම්ව සිටින අතර ඊට අදාළ සියලු කටයුතු සූදානම් කර ඇති බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් දැනුම් දී ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව පැවසුවේ, ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීමට අදාළව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති විශේෂ මාධ්‍ය හමුවට ඊයේ (19) එක්වෙමිනි.
ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති සියලු ඡන්ද කාර්යාල ඉවත් කිරීමට ඊයේ (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කටයුතු කර ඇති බවයි, එහිදී ඒ මහතා පැවසුවේ.
ඒ අනුව, ඊයේ (19) මධ්‍යම රාත්‍රියේ සිට විවෘතව තැබිය හැකි වන්නේ සෑම දිස්ත්‍රික්කයකට එක් ප්‍රධාන කාර්යාලයක් සහ සෑම පැරණි ආසනයක් සඳහාම එක් කාර්යාලයක් පමණයි.
මීට පෙර පිහිටුවා තිබූ අනෙකුත් සියලු කාර්යාල අදාළ අපේක්ෂකයන් විසින් ඉවත් කරගත යුතු බවත් ඔවුන් එසේ ඉවත් කර නොගතහොත් පොලිසිය මඟින් ඒවා ඉවත් කිරීමට සිදු වන බවත් හෙතෙම කීවේය.
එමෙන්ම ඡන්දය ප්‍රකාශ කරන මධ්‍යස්ථාන තුළ සහ ඒ අවට මැතිවරණ නීති කඩ කරන්නන්ට එරෙහිව දඬුවම් ලබා දෙන බවත් කීවේය.
ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ගණන් කිරීම හෙට (21) පස්වරු 4.15ට පමණ ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ගණන් කිරීම අවසානයේ අදාළ ප්‍රතිඵල ලැබුණු පසු ඒවා මාධ්‍යයට මුදා හැරීමට කටයුතු කරන බවත් පැවසුවේය.
එමෙන්ම නිල ප්‍රතිඵලය ලැබෙනතෙක් නිල නොවන ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස ද සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද කීවේය.
එමෙන්ම ජනාධිපතිවරණය සඳහා නිවැරදිව තම මනාපය සලකුණු කළ යුතු ආකාරය ද පැහැදිලි කරමින් ඒ මහතා පැවසුවේ එක් අපේක්ෂකයකුට තම ඡන්දයත් අනතුරුව තවත් අපේක්ෂකයන් දෙදෙනකුට දෙවැනි හා තුන්වැනි මනාපයත් ඡන්ද පත්‍රිකාවේ සලකුණු කිරීමට හැකියාව පවතින බවයි.
එහිදී තමන් කැමැති අපේක්ෂකයාට ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය නම් එම අපේක්ෂකයාගේ නම හා ලකුණ ඉදිරියෙන් ඇති කොටසේ අංක 1 ලෙස ඉලක්කමෙන් ලකුණු කළ යුතු බව කීවේය.
අනතුරුව අංක 2 හා 3 ඉලක්කම් සලකුණු කර තමන් කැමැති වෙනත් අපේක්ෂකයන් දෙදෙනකුට දෙවන හා තෙවන මනාප ලබාදිය හැකි බව ද පැවසුවේය.
එසේ නැතිව එක් අයකුට පමණක් වුවද තම ඡන්දය භාවිත කළ හැකි බවත් හෙතෙම කීවේය.
කිසිම අපේක්ෂකයකුට ඡන්දය සලකුණු කර නැති විට, එක් අපේක්ෂකයකුට වඩා වැඩි සංඛ්‍යාවක් වෙනුවෙන් ඡන්දය සලකුණු කර ඇති විට, එක් අපේක්ෂකයකුට 1 හා තවත් අපේක්ෂකයකුට කතිරය සලකුණු කර ඇති විට, දෙවැනි මනාපය හෝ තුන්වැනි මනාපය පමණක් සලකුණු කර ඇති විට, ඡන්දදායකයා පහසුවෙන් හඳුනා ගැනීමට යමක් ලියා ඇත්නම් හෝ ඇඳ ඇති විට, 1 හැර වෙනත් සලකුණක් සමඟ 2, 3 මනාප ලකුණු කර ඇති විට, 1, 2, 3ට වඩා ඡන්දය සහ මනාප ලකුණු සලකුණු කර ඇති විට ඒ සියලු ඡන්ද පත්‍රිකා ප්‍රතික්ෂේප වන මනාප ලෙස සලකනු ලබන බවත් කීවේය.
මීට අමතරව ඡන්දය දැමීමට පෙර අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා වලංගු හැඳුනුම්පත, පැරණි හැඳුනුම්පත වලංගු බවත් විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියැදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, පැරණි හෝ ඊ හැඳුනුම්පතද වලංගු බවත් හෙතෙම කීවේය.
ඒ වගේම අපැහැදිලි හැඳුනුම්පත්, නව ජාතික හැඳුනුම්පතක් ඉල්ලුම් කිරීමේදී නිකුත් කරන ලද කුවිතාන්සිය ආදි ඡායාරූප සහිත හෝ රහිත වෙනත් කිසිදු ලියවිල්ලක් ඡන්දපොළේදී පිළි නොගන්නා බවත් කීවේය.
මෙවර ජනාධිපතිවරණයට අදාළව මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්දදායකයන්ට මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් සිය නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ පිටපතක් ලබාගැනීමේ හැකියාව පවතින බව ද මෙහිදී ඒ මහතා කීවේය.
ඊට අමතරව තම ප්‍රදේශයේ තැපැල් කාර්යාලයෙන් ද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගැනීමේ හැකියාව පවතින බව සභාපතිවරයා පැවසීය.
ඔහු තවදුරටත් පැවසුවේ ඡන්දය දැමීම සඳහා පැමිණෙන අවස්ථාවේදී ජංගම දුරකතන රැගෙන ඒමෙන් වළකින ලෙසත් ඡන්දය දැමීමෙන් පසු සාමකාමීව නිවෙසට වී සිටින ලෙසත් හෙතෙම වැඩිදුරටත් කීවේය.