ඇමති ප්‍රසන්න සමග වාදයට ගිය අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙන් ඉවත් කරයි

ඇමති ප්‍රසන්න සමග වාදයට ගිය අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙන් ඉවත් කරයි

නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල්වරයා එම තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගත්තේ ඔහුගේ විනය විරෝධී හැසිරීම නිසා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. එස්. සත්‍යානන්ද මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ, නාගරික සංවර්ධන අධිකාරි පනතේ 13 (1) වගන්තිය යටතේ විෂය භාර ඇමතිවරයාට පැවරී ඇති බලතල යටතේ මෙම පියවර ගත් බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ 2024 අයවැය යෝජනාවට අනුව කොළඹ තට්ටු නිවාස හිමියන් 50,000කට සින්නක්කර ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල ආරම්භ කිරීම සම්බන්ධයෙන් පසුගිය 04 වනදා පැවති සාකච්ඡාවක දී හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා රාජ්‍ය සේවයට නොගැළපෙන අප්‍රසන්න ආකාරයෙන් හැසිරුණු බවත් එය සමතයකට පත් කිරීම සදහා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඒ මොහොතේ ශාලාවෙන් ඉවතට යන ලෙස උපදෙස් දුන් බවත් ලේකම්වරයා කියයි.

නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා තාවකාලිකව ඉවත් කිරීම සහ හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල පිළිබදව අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය දැනුවත් කිරීම සඳහා ඊයේ (08) පැවති විශේෂ සාකච්ඡාවක දී අමාත්‍යාංශ ලේකම්වරයා මේ බව සදහන් කළේය.

පසුගිය 04 වනදා අදාළ සාකච්ඡාව පවත්වා ඇත්තේ මේ මස 17 වනදා කොළඹ තට්ටු නිවාස හිමියන් 50,000කට සින්නක්කර ඔප්පු ලබා දීම ආරම්භ කිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයේ ප්‍රගති සමාලෝචනය සදහායි.

විෂය භාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට නාගරික සංවර්ධන අධිකාරිය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය හා සහාධිපත්‍ය කළමණාකරන අධිකාරිය යන ආයතන වල සභාපති, අධ්‍යක්ෂ ජනරාල්, සාමාන්‍යාධිකාරී ඇතුලු සියලුම වගකිවයුතු නිලධාරීන් සහභාගී වූහ.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ප්‍රගතිය විමසා ඇති අතර මෙම ඔප්පු ප්‍රධානය කිරීමේ දී ඒ සදහා වැය වන මුද්දර ගාස්තු හා නොතාරිස් ගාස්තු මහා භාණ්ඩාගාරයෙන් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබුණද මෙතෙක් එම ප්‍රතිපාදන නොලැබීම නිසා ඔප්පු ලබා දීමේ කටයුතු ආරම්භ කිරීමේ ගැටළුවක් තිබෙන බව හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී පෙන්වා දී ඇත.

ප්‍රධාන ගණන් තැබීමේ නිලධාරියා ලෙස තමන් ඒ සදහා මැදිහත්ව අදාළ මුදල ලබා දීමට කටයුතු කරන බවට තමන් මෙහිදී සහතික වූ බව අමාත්‍යාංශ ලේකම්වරයා කිවේය.

ඊට එකග නොවූ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා දිගින් දිගටම විෂය භාර අමාත්‍යවරයා සමග උණුසුම් වචන හුවමාරුවක් ඇතිකර ගත් බවත් එය ඉතා අප්‍රසන්න තත්වයක් බැවින් එය සමතයකට පත් කර ගැනීම සදහා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඒ මොහොතෙන් ශාලාවෙන් ඉවතට යන ලෙස උපදෙස් දුන් බවත් ලේකම්වරයා කියයි.

අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතාද සදහන් කළේ මෙම හිමිකම් ඔප්පු ප්‍රධානය දිගින් දිගටම ප්‍රමාද වීම වැළැක්වීම සදහා අමාත්‍යවරයා ප්‍රායෝගික යෝජනා කිහිපයක් ඉදිරිපත් කළ බවයි .

ඊට හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා එකගතාවය පල නොකළ බව පැවසූ සභාපතිවරයා මෙහි දී පෙන්වා දුන්නේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා විෂය භාර අමාත්‍යවරයා සමග ඇතිකර ගත්තේ අනවශ්‍ය ගැටුමක් බවයි.

අමාත්‍යාංශ ලේකම්වරයා අදාළ ප්‍රතිපාදන ලබා දෙන බවට වගකීම භාරගත් පසු ඒ පිළිබදව දිගින් දිගටම තර්ක කිරීමේ අවශ්‍යතාවයක් නැතත් අධ්‍යක්ෂ ජනරාල්වරයා අමාත්‍යාංශ ලේකම්වරයාගේ සහතිකය පිළි නොගෙන දිගින් දිගටම අනවශ්‍ය වාදයකට පෙළඹුනු බවද සභාපතිවරයා කීවේය.

සාකච්ඡාව සදහා හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයාද කැදවූ අතර ඔහු සදහන් කළේ චක්‍ර ලේඛ උල්ලංගනය වන ආකාරයෙන් කටයුතු කරන ලෙස මෙම සාකච්ඡාවේ දී බලකෙරුණු බවයි.

අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතා එය සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බවත් එවැනි බලපෑමක් එදින සාකච්ඡාවේ දී සිදු නොවූ බවත් අවධාරණය කළේය.

දැනට විනයානුකූල පියවරක් ලෙස අධ්‍යක්ෂක ජනරාල්වරයා එම තනතුරෙන් ඉවත් කෙරුණු බවත් ඔහුට එරෙහිව ඔහුට විනය පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යාංශ ලේකම්වරයා කීවේය.

මෙහිදී අදහස් පල කළ ඇතැම් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ද අවධාරණය කළේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ හැසිරීම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයක දී තමන්ටද විවිධ ගැටළු මතු වූ බවයි.

ඒ අනුව, හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයාට විරුද්ධව විනයානුකූලව පියවර ගැනීම මෙම රැස්වීමට සහභාගී වූ සියලුම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ද ඒකමතිකව අනුමත කළහ.