අලින්ට ඇද්ද විදුලි රැහැනෙන් විදුලිසැර වැදී දරුවෙකු මරුට
විල්ගමුව පොලිස් වසමේ පේරකනත්ත ප්රදේශයේදී විදුලිසැර වැදී කුඩා දරුවෙකු මිය ගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ, නාමිනිගම, පේරකනත්ත ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 07 ක පිරිමි ළමයෙකි.
පොලීසිය පැවසුවේ, මියගිය දරුවාගේ දෙමාපියන් විසින් නිවස හා ගෙවත්ත වන අලින්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා විදුලි වැටක් සකස් කර ඇති බවත් දෛනිකව සවස 06.00 ට විදුලිය සපයා පසුදින උදෑසන 06.00 ට එය විසන්ධි කිරීමට ඔවුන් කටයුතු කර ඇති බවයි.
කෙසේවෙතත්, සිද්ධිය වූ දින විදුලිය විසන්ධි කිරීමට නිවැසියන්ට අමතක වී ඇති බවත් මරණයට පත් වූ දරුවා නිවස පිටුපස පිහිටි දිවුල් ගසේ දිවුල් ඇහිඳීම සඳහා ගොස් සිටියදී මෙලෙස විදුලිසැර වැදී ඇති බවත් සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වූ බව පොලීසිය පැවසීය.
මියගිය දරුවාගේ මෘත ශරීරය විල්ගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, විල්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.