දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කිරීම අද

දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කිරීම අද

මේ වර්ෂයට අදාළ දෙවන විදුලි ගාස්තු සංශෝධනය අද (15) ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර තිබෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

ගාස්තු සංශෝධනයට අදාළ ගණනය කිරීම සිදුකරගෙන යන බවත් මේ අනුව අද කොමිෂන් සභාව රැස් වී අදාළ තීන්දු තීරණ ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර තිබෙන බවද එම කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

මේ වර්ෂය සඳහා විදුලිබල මණ්ඩලය විසින් යෝජනා කර ඇති විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපදේශනයේ වාචික අදහස් ලබාගැනීම 09වන දින පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විය.

අදාළ උපදේශනයේදී යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා විවිධ විදුලි පාරිභෝගික කණ්ඩායම්, කර්මාන්ත හා සංවිධාන නියෝජනය කරමින් 50දෙනෙකු පමණ ලියාපදිංචි වී අදහස් දැක්වීම සිදුවිය.

මෙවර ගාස්තු සංශෝධනයේ විදුලි ගාස්තු අඩුවන බවට විෂය භාර අමාත්‍යවරයා විසින් මීට පෙර ප්‍රකාශ කළ අතර, මීට අමතරව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවා විදුලි ගාස්තුව අඩුකළ හැකි බවට ප්‍රකාශ කරනු ලැබිණි.

මේ අනුව අද සිට සිදුවන විදුලි ගාස්තු සංශෝධනයේදී විදුලිබිල අඩු වන අතර, අදාළ ගාස්තු අද මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබේ.

මේ වසරේ පළමු විදුලි ගාස්තු සංශෝධනය මාර්තු 04වන දින සිදුවූ අතර, මේ අනුව පොදුවේ විදුලි ගාස්තුව 21. 9% කින් අඩු විය.

මෙහිදී ඒකක 30 ට අඩු කාණ්ඩයේ විදුලි ගාස්තුව 33% කින් අඩු වූ අතර, මෙවර ගාස්තු සංශෝධනයේදීත් ඒකක 30ට අඩුවෙන් භාවිත කරන ජනතාවට සැලකිය යුතු සහනයක් හිමිවීමට නියමිතව තිබෙන බවද වාර්තා වේ.