දෛනිකව මුද්‍රණය කරන ගුවන් ගමන් බලපත්‍ර සංඛ්‍යාවේ ‌වෙනසක්

දෛනිකව මුද්‍රණය කරන ගුවන් ගමන් බලපත්‍ර සංඛ්‍යාවේ ‌වෙනසක්

තමා ධුරයෙන් ඉල්ලා අස්නොවන බවත් තමා කිසිවෙකුට හෝ අස්වීම් ලිපි යවා නැති බවත් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පවසයි.

එසේම තමාට ඉල්ලා අස්වීමට තරම් හේතුවක් ද නැති බවත් සඳහන් කළ ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මේ වනවිට බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පැවති තදබදයද දුරුවී ඇති බව සඳහන් කළේය.

ගුවන් ගමන් බලපත්‍ර මුද්‍රණ පොත් ශේෂවීම මත ගුවන් ගමන් බලපත්‍ර යම් අඩුවකින් මුද්‍රණය කිරීමට සිදුවුවත් මේ වනවිට අලුතින් පොත් ලැබී තිබෙන බවත් ඒ අනුව දෛනිකව ගුවන් ගමන් බලපත්‍ර 1000 ක් මුද්‍රණය කෙරෙන බවත් හෙතෙම සඳහන් කළේය.

ආගමන විගමන දෙපාර්තමේන්තු වෙබ් අඩවිය ඔස්සේ දින වේලා වෙන්කරගත් අයට ඔක්තෝබර් මාසය දක්වා ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කරන බවත් එසේ වෙන්කර ගැනීමට අපහසු අතිශය හදිසි අවශ්‍යතාවක් ඇති අයට ද විශේෂ අවස්ථාවක් දෙමින් ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කරන බවත් ආගමන විගමන පාලක ජනරාල්වරයා සඳහන් කළේය.

ලබන ඔක්තෝබර් මාසයේදී නව ඊ පාස්පෝට් පොත් ලැබීමට නියමිතව ඇති බවත් මේ අනුව එම මාසයේ සිට ඊ පාස්පෝට් මුදුණය කිරීමේ කටයුතු ද ආරම්භ කරන බවත් හෙතෙම කීවේය.

ගුවන් ගමන් බලපත්‍ර මුද්‍රණය කරදීමේ පොත් හිඟයක් පැවතීම, තමාට අනවශ්‍ය රාජකාරී පීඩනයක් එල්ල වීම ඇතුළු හේතුන් පෙන්වා දෙමින් තමා ඉල්ලා අස්වීමට යන බවට වන ප්‍රචාරයන් අසත්‍ය බවත් ආගමන විගමන පාලක ජනරාල්වරයා අවසන් වශයෙන් සඳහන් කළේය.