පාස්පෝට් ගන්න ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

පාස්පෝට් ගන්න ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

හිස් විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වීම හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමා කිරීමට සිදුව ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එබැවින්, අත්‍යවශ්‍යම හේතුවක් මත පමණක් විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම්කරන ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටියි.

මේ අනුව, නව ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර හඳුන්වා දීමට රජය විසින් පියවර ගෙන ඇති අතර ඒ සඳහා ජාත්‍යන්තර මිල ගණන් කැඳවීම මගින් විදේශීය සමාගමකට විදේශ ගමන් බලපත්‍ර සැපයීම සඳහා ටෙන්ඩරයක් දැනටමන් ප්‍රදානය කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් දැනට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතු හිස් විදේශ ගමන් බලපත්‍ර තොග සීමිත වීම සැලකිල්ලට ගෙන ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර ඇණවුම් කළ සමාගමෙන්ම එම ඇණවුමෙහිම කොටසක් වශයෙන් සාමාන්‍ය හිස් විදේශ ගමන් බලපත්‍ර 50,000ක් සපයා ගැනීමට කටයුතු කර තිබේ.

මෙම විදේශ ගමන් බලපත්‍ර තොගය ඔක්තෝබර් මස අවසානයේ හෝ ඊට පෙර දිවයිනට ළඟා වීමට නියමිත බවයි, එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

COMMENTS