පාස්කු වාර්තා ගෙනත් දෙන්න උදය ගම්මන්පිළට විජිතගෙන් දවස් තුනක්

පාස්කු වාර්තා ගෙනත් දෙන්න උදය ගම්මන්පිළට විජිතගෙන් දවස් තුනක්

පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තා උදය ගම්මන්පිල මහතා සතුව තිබෙන්නේ නම් එම වාර්තා වහාම රජයට භාර දීමට දින 03ක කාලයක් ලබා දෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ප්‍රසිද්ධ කර නොමැති වාර්තා ප්‍රසිද්ධ කිරීම සඳහා සතියක කාලයක් ලබාදෙන බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ ඊයේ සිදුකළ අභියෝගය සම්බන්ධයෙන් කොළඹ අද (15) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් පළකරමින්.

“ගම්මන්පිල මහත්මයා ලග ඒ වාර්තාව තිබෙනවා නම් අපි දවස් 03 ක් කල් දෙනවා පුළුවන් නම් ඒ වාර්තා ගෙනත් දෙන්න.

එතකොට අපිට ලේසියි. රජය සතු වාර්තා අපි නිවැරදි විදියට, නිවැරදි ක්‍රමවේදයට පරීක්ෂණයට භාජනය කරනවා.

පිටු අඩු වෙලාද, ​මොනවද වෙලාද කියන එක. ඒ පරීක්ෂණ වලින් පස්සේ අපි ඒ ජනතාවට සාධාරණය ඉටු කරන්න අපි බැඳිලා ඉන්නවා.

ගම්මන්පිල මහත්මයාට ඒ වාර්තා ලැබුණා නම් ඒවා වහාම දෙන්න.

ඒ ලැබුණ විදියත් හොයා ගන්න ඕනී. කොහොමද ඒවා හම්බවුණේ කියලා. අපිත් දැනගන්න කැමතියි.

රටේ ජනතාවත් දැනගන්න කැමතියි. මෙච්චර කල් ගම්මන්පිල මහත්මයා ලඟ මේ වාර්තා තියාගෙන හංගගෙන හිටියා නම් ඒකත් බරපතල අපරාධයක්. ”