ඇඹිලිපිටියේ නිෂ්පාදිත පළමු කඩදාසි තොගය බංගලාදේශයට

ඇඹිලිපිටියේ නිෂ්පාදිත පළමු කඩදාසි තොගය බංගලාදේශයට

දශක දෙකකට වැඩි කාලයක් වසා දමා තිබී යළි නිෂ්පාදන කටයුතු ඇරඹු ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ නිෂ්පාදිත පළමු කඩදාසි තොගය බංගලාදේශයට අපනයනය කර තිබේ.

මෙට්‍රික් ටොන් පනහකින් යුතු මෙම කඩදාසි තොගය කාර්මික කඩදාසි වලින් යුතු විය.

අපනයනය කළ කඩදාසි තොගයේ වටිනාකම ඩොලර් 20000ක් පමණ බව ‘අනුනයින්’ සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්‍ෂ නලින් ඇන්තනී මහතා පැවසුවේය.

කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු පසුගිය අප්‍රේල් 18දා ආරම්භ කරනු ලැබීය.

ජාතික කඩදාසි සංස්ථාවට අයත්ව තිබු ඇඹිලිපිටිය කඩදාසි කම්හල විවෘත ආර්ථික ප්‍රතිපත්ති මත විදෙස් රටවලින් කඩදාසි ගෙන්විමට කටයුතු කිරිමෙන් පසු 2003 වසරේදි වසා දමන ලදී.

ඉන් පසු අවස්ථා කිහිපයකදි එහි තිබූ යන්ත්‍ර සූත්‍ර යකඩ ආදිය ගලවා පරණ යකඩ වලට විකුණා කම්හල ගොඩනැගිලිවලට සහ යන්ත්‍ර සුත්‍ර කිහිපයකට පමණක් සීමාකර තිබුණි.

පසුව රජය සමග ඒකාබද්ධව ඇඹිලිපිටිය පේපර් මිල්ස් ප්‍රයිවෙට් ලිමිටඩ් නමින් k S P A පැකේජිං පුද්ගලික සමාගම විසින් පසුගිය අවුරුද්දේ යළි සංවර්ධනය කරනු ලැබීය.

නව යන්ත්‍රසුත්‍ර ආදිය සවිකර මුලින්ම 70mg සහ 150mg ප්‍රමාණයේ කර්මාන්ත කඩදාසි නිෂ්පාදනය ආරම්භ කරන ලදි. මෙරට අබළි කඩදාසි නිෂ්පාදන මූලද්‍රව්‍ය ලෙස යොදා ගැනුනි.

දේශීය ව්‍යාපාරික සහ ව්‍යවසායක අනුරත් අබේරත්න මහතාගේ ‘අනුනයින්’ සමූහ ව්‍යාාරයේ පුද්ගලික සමාගමක් ලෙස ඇඹිලිපිටිය කඩදාසි කම්හල ක්‍රියාත්මක වෙයි.

මේ වනවිට රටවල් දොළහකින් විදේශ ඇනවුම් ලැබී ඇති බව ‘අනුනයින්’ සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්‍ෂ නලින් ඇන්තනී මහතා සඳහන් කළේය.

ශ්‍රීලංකාවේ කාර්මික කඩදාසි වාර්ෂික අවශ්‍යතාව මෙට්‍රික් ටොන් එක්ලක්‍ෂ විසිදහසක් බව කී ඔහු ඇඹිලිපිටිය කම්හලෙන් මෙට්‍රික් ටොන් අනූදහසක් නිපදවිය හැකි බව ද කීවේය.

ඉදිරියේදී ලංකාවේ අවශ්‍යතාව සපුරාලීමට කම්හලේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම ඉලක්කය බවද සඳහන් කළේය.

එසේම මෙතෙක් ලංකාවේ අබළි කඩදාසි විදෙස් රටවල වලට අපනයනය කෙරුණ අතර මේ වනවිට එම අපනයන කළ අබළි කඩදාසි ඇඹිලිපිටිය කම්හල මගින් මිලදි ගෙන අගය වැඩිකරමින් කඩදාසි නිෂ්පාදනය කර විදේශ විනිමය උපදවන බවද කීවේ ය.

Share This