භාරතීය ජනතා පක්ෂයේ ප්‍රියංගු පාණ්ඩේට වෙඩි සහ බෝම්බ ප්‍රහාරයක්

භාරතීය ජනතා පක්ෂයේ ප්‍රියංගු පාණ්ඩේට වෙඩි සහ බෝම්බ ප්‍රහාරයක්

බටහිර බෙංගාලයේ උතුරු 24 පර්ගානාස් දිස්ත්‍රික්කයේ භාත්පාරා ප්‍රදේශයේදී ත්‍රිනාමූල් කොංග්‍රසයේ සාමාජිකයින් පිරිසක් තමා ගමන් කරමින් සිටි වාහනයට වෙඩි තබා බෝම්බ හෙළූ බවට භාරතීය ජනතා පක්ෂයේ (BJP) ජ්‍යෙෂ්ඨයෙකු වන ප්‍රියංගු පාණ්ඩේ චෝදනා කරයි.

තම මෝටර් රථයට පහර දී වෙඩි තැබීමේ ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයන් දෙදෙනෙකුට තුවාල සිදු වූ බවත්, එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවත් පාණ්ඩේ පැවසීය.

“අපේ කාර් එක නවත්තපු ගමන් 50-60ක් විතර වාහනේ ඉලක්ක කළා. මගේ වාහනයට බෝම්බ 7 ක් 8 ක් පමණ විසි කළා, පසුව වට 6 ක් 7 ක් වෙඩි තැබුවා,” පාණ්ඩේ පැවසීය.

“මෙය TMC සහ පොලිසියේ ඒකාබද්ධ කුමන්ත්‍රණයක්. ඔවුන් මගේ ඝාතනය සැලසුම් කළා. පොලිසිය සහාය දී තොරතුරු ලබා දුන්නා. මගේ ආරක්ෂාව ඉවත් කළා. ඊට පස්සේ තමයි මේ සිද්ධිය වුණේ,” ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අනුව, එම ප්‍රහාරය ඝාතන උත්සාහයක් බවත්, මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයට චෝදනා එල්ල කරන බවයි, ඔහු පවසා තිබෙන්නේ.

මේ අතර, භාරතීය ජනතා පක්ෂයේ තවත් ජ්‍යෙෂ්ඨයෙක් වන අර්ජුන් සිං කියා සිටියේ, පාණ්ඩේට ප්‍රහාරය එල්ල වූයේ ජ්‍යෙෂ්ඨ බෙංගාල පොලිස් නිලධාරියෙකු ඉදිරියේ බවයි.