ජනපති අපේක්ෂකයකුගේ ඡන්ද නීති කැඩූ ගෝලයෝ 30 ක් හොර පාරෙන් ගෙදර යවලා

ජනපති අපේක්ෂකයකුගේ ඡන්ද නීති කැඩූ ගෝලයෝ 30 ක් හොර පාරෙන් ගෙදර යවලා

ඡන්ද නීති කඩ කළේ යැයි කියන මුල් පෙළේ ජනාධිපති අපේක්ෂකයකුගේ ආධාරකරුවන් තිස් දෙනෙකු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක නොකර මුදා හැරියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බදුල්ල මූලස්ථාන පොලිසියේ ප්‍රධානීන්ට එරෙහිව පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.

මෙම ආධාරකරුවන් තිස්දෙනා අත්අඩංගුවට ගෙන තිබුණේ නීති විරෝධී ලෙස පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් සිටියදී යැයි එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

මෙයට අමතරව මැතිවරණ පෝස්ටර් ඉවත් නොකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වවුනියාව මූලස්ථාන පොලිසියේ නිලධාරීන්ට එරෙහිවද මැතිවරණ කොමිසමට පැමිණිලි කළ බව ඔහු සඳහන් කළේය.

සහකාර මැතිවරණ කොමසාරිස්වරයා දුන් උපදෙස් නොගෙන ඒ අය කටයුතු කර ඇති බවටද තොරතුරු වාර්තා වී ඇතැයි හෙට්ටිආරච්චි මහතා කීවේය.

පොලිස්පතිවරයකු නොමැතිව තිබියදී බොහෝ පොලිස් ස්ථාන ඉතා හොඳින් මැතිවරණ රාජකාරී ඉටු කරද්දී සමහර නිලධාරීන් මෙලෙස පක්ෂග්‍රාහී ලෙස කටයුතු කිරීමෙන් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම ලොකු කැළලක් ඇතිවන බවද රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.