ජාතික ජනබලවේගයෙන් අද පස්වරුවේ විශේෂ හෙළිදරව්වක්

ජාතික ජනබලවේගයෙන් අද පස්වරුවේ විශේෂ හෙළිදරව්වක්

ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තිය සමිති නායකයන් දෙදනෙකු වන වසන්ත සමරසිංහ සහ මහින්ද ජයසිංහ යන මහත්වරුන් අත්අඩංගුවට ගන්නැයි සිදු කරනු ලබන අසත්‍ය චෝදනාවලට පිළිතුරු දීමට ජාතික ජනබලවේගය තීරණය කර තිබෙනවා.

ඒ, අද (07) පස්වරුවේ එහි නීතිඥයින් පිරිසක් විසින් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින්.

ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර මුදලක් වංචා කිරීමේ සිද්ධියකට මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලෙසට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බවට ඊයේ (06) තොරතුරු වාර්තා වුණා.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින්, වසන්ත සමරසිංහ මහතා කියා සිටියේ, තමන් අත්අඩංගුවට ගන්නා ලෙසට අධිකරණය නියෝගයක් නිකුත් කර නොමැති බවයි.

“මේ වෙනකොට ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය වළක්වන්න. සමගි ජනබලවේගයත්, ඒ වගේම රනිල් වික්‍රමසිංහත් විවිධ අවස්ථාවල විවිධ කතාබහ කරනවා. අපේ වෘත්තිය සමිතියකට අදාළව දේපළ කොල්ලකෑමක් සිද්ධ වෙච්ච කාරණය පිළිබඳව අපි වසර ගණනාවක් තිස්සේ පැමිණිලි කරලා තියෙනවා.

මේ වෙනකොට නැෂනල් වකර්ස් කොංග්‍රස් සහ නැෂනල් වකර්ස් ඉන්ස්ටිටියුට් ආයතනයට අදාළ දේපළ කොල්ලකෑමක් සම්බන්ධයෙන් CID පැමිණිලි තියෙනවා. කඩුවෙල අධිකරණයේ පැමිණිලි විභාග වෙනවා. මේ විභාග වෙද්දී, කටුනායක සීදුවේ – පොල්ගහවෙලත් ඉඩම් දෙකක් හොර ඔප්පු හදලා විකුණපු පුද්ගලයෙක් අපට විරුද්ධව අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් කරලා තියෙනවා අපේ වෘත්තිය සමිතියට අදාළ දේපළක් අපි හොර ලේඛන සකස් කරලා බදු දුන්නා කියලා.

අපි ළඟ ඔරිජනල් ඔප්පු. අදාළ ලේඛන සියල්ල තියෙනවා. ඒ නිසා ඔහුට විරුද්ධව උසාවියේ වාරණයක් තියෙනවා. එහෙම අපි දාපු පැමිණිල්ලක් තියෙද්දී, ඔවුන්ගේ පැමිණිල්ලක් ගල්කිස්ස අධිකරණයේ විභාග වුණායැයි කියලා සමාජ මාධ්‍ය තුළ දැවැන්ත බොරුවක් ප්‍රචාරය කරනවා සමගි ජනබලවේගයේ ආසනයේ දේශපාලනය කරන නීතිඥ මහත්මයෙකුත් අධිකරණයට ගිහිල්ලා.

ඒ නිසා ඔනෑම කුණුගොඩක් තමන්ගේ ලිප්බොක්කට දාගන්න සජබය මේ අද සිද්ධ වෙච්ච වැඩේ ගැන බොහෝම ප්‍රචාරයක් දෙන්න උත්සහ කරනවා. අපේ නීතිඥ මහත්වරු බී රිපෝට් එක අධිකරණයෙන් ඉල්ලලා තියෙනවා. මේ බී රිපෝට් එකේ කිසිම තැන මමවත්, මහින්ද ජයසිංහ සහෝදරයාවත්, අපේ වෘත්තීය සමිති ලේකම් අමාලි කළුපහන සහෝදරියවත් වැරදිකරුවන් කරලා නැහැ.

පරීක්ෂණයක් පැවැත්වෙනවා. ඒ පරීක්ෂණයට අනුව චූදිතයන්, වැරදිකරුවන් අධිකරණයට ගේන්න කියලා තමා අධිකරණය කියලා තියෙන්නේ. එහෙම තියෙද්දී, දැවැන්ත බොරුවක් අරන් යනවා වසන්ත සමරසිංහ අත්අඩංගුවට ගන්න කිව්වා කියලා. බී වාර්තාවේ එහෙම එකක් නැහැ. අධිකරණයේ එහෙම එකක් කියලා නැහැ. සමගි ජනබලවේගය තමා අධිකරණ තීරණය ක්‍රියාත්මක කරන්න හදන්නේ.”