ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවෙන් ඡන්ද දායකයින්ට දැනුම්දීමක්

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවෙන් ඡන්ද දායකයින්ට දැනුම්දීමක්

එළැඹෙන 2024 ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර ඒ සම්බන්ධයෙන් සිය අදහස දක්වමින් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කර තිබේ.

එහිදී ඡන්ද දායකයින්ගෙන් මෙන්ම ජනාධිපති අපේක්ෂකයින්ගෙන් ද ඉටුවිය යුතු වගකීම් සහ යුතුකම් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ඇත.

ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ප්‍රජාතන්ත්‍රවාදයේ කුලුනු ත්‍රීත්වයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන නායකයෙකු රටට අවශ්‍ය යන්න සිය දැඩි විශ්වාසය බව එම නිවේදනයෙන් සඳහන් කර තිබේ.

එබැවින් දුෂිත පුද්ගලයින් ආරක්ෂා කරන සහ දූෂිතයින්ට අනුබල දෙන දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා ජනතාව සිය වටිනා ඡන්දය බුද්ධිමත්ව භාවිත කිරීම වැදගත් බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව පෙන්වා දෙයි.

බොරු පොරොන්දු ලබා දෙමින් ඡන්ද දායකයින් රවටා ඔවුන් නොමඟ යෑවීමෙන් වළකින ලෙසත්, තම ඡන්ද ව්‍යාපාර සංවිධායකවරුන් සහ ආධාරකරුවන් මේ හා සම්බන්ධයෙන් කරන කියන දේ පිළිබඳව සුපරික්ෂාකාරී වන ලෙසත් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව ජනාධිපති අපේක්ෂකයින්ගෙන් ඉල්ලා තිබේ.

එම නිවේදනයෙන් අවධාරණය කර ඇත්තේ එසේ මැතිවරණ නීති උල්ලංඝනය කරන්නන් විසින් අවංකව සහ සාධාරණව රට පාලනය කරනු ඇති බවට විශ්වාස කළ නොහැකි බවයි.

එබැවින් දිවයිනේ ප්‍රධාන ආගම් හතරේ සාරධර්ම මත පදනම් වූ ප්‍රජාතන්ත්‍රවාදී සහ සදාචාරාත්මක ප්‍රතිපත්ති අනුව ජනතාවගේ සංකෘතික ආචාරධර්මවලට ද ගරු කරමින් රට පාලනය කරන නායකයෙකු තෝරා පත්කර ගැනීම සඳහා තම ඡන්දය පාවිච්චි කරන ලෙසට ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව සියලුම ලියාපදිංචි ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කරයි.