ජනාධිපතිවරණයට නාම යෝජනා බාරගන්නේ මෙහෙමයි

ජනාධිපතිවරණයට නාම යෝජනා බාරගන්නේ මෙහෙමයි

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම විශේෂ ආරක්ෂක විධිවිධාන සහිතව අනිද්දා (15) පෙරවරු 9.00 ට ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.

නාම යෝජනා බාර ගැනීම අනිද්දා (15) උදේ 9.00සිට 11.00 දක්වා සිදු කෙරේ.

නාම යෝජනා සම්බන්ධයෙන් විරෝධතා දැක්වීම උදේ 11.00 සිට 11.30 දක්වා කළ හැකිවේ.

විරෝධතා කාලය අවසන් වීමෙන් පසු පක්ෂ සහ ස්වාධීන අපේක්ෂකයන් සඳහා ඡන්ද ලකුණු නිකුත් කිරීම කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මේ කාලයේදී මැතිවරණ කොමිෂන් සභාවට සහ ඒ අවට ප්‍රදේශයට විශේෂ ආරක්ෂාව සැපයීමට රජය තීරණය කර ඇත.

නාම යෝජනා බාර ගන්නා අවස්ථාවේදි එම ප්‍රදේශය අධි ආරක්ෂක කලාපයක් බවට පත් කෙරෙන අතර කලාපයට ඇතුළුවිය හැක්කේ අවසර ලත් පුද්ගලයන් සහ අවසර ලත් වාහනවලට පමණි.

නාම යෝජනා බාර ගන්නා කාලයේදී සරණ මාවත ආශ්‍රිත රජයේ ආයතන සහ රෝහල් වසා දමන හෙයින් සාමාන්‍ය කටයුතු සහ වෙනත් රාජකාරී සඳහා පැමිණීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.

නාමයෝජනා බාරදීමට ශාලාවට පැමිණිය හැක්කේ අපේක්ෂකයාට සහ තවත් දෙදෙනෙකුට පමණක් බවත් ඒ අයට විශේෂ අවසර පත්‍ර නිකුත් කර ඇති බවත් කොමිසමේ සභාපතිවරයා කීවේය.

එමෙන්ම, තවත් අමුත්තන් තිදෙනකුට මැතිවරණ කොමසාරිස් කාර්යාලයට යාබද ගොඩනැගිල්ලේ රැඳ සිටීමට අවසර දෙනු ලැබේ.

සරණ මාවතට ඇතුළු විය හැක්කේ, අපේක්ෂකයා රැගෙන එන වාහනයට පමණකි.

අපේක්ෂකයා සරණ මාවතේ අවසාන මාර්ග බාධකය ආසන්නයේදී වාහනය නවතා මැතිවරණ කාර්යාලයට පයින් ගමන් කළ යුතුය.

අපේක්ෂකයන් සමග එන ආධාරකරුවන්ට රැඳී සිටීමට විශේෂ ස්ථාන සලසා ඇත.

නාම යෝජනා බාරදීමෙන් අනතුරුව පෙලපාලි පැවැත්වීම තහනම් බව කොමිසම සඳහන් කරයි.

නාම යෝජනා කැඳවා දින පහක් ඇතුළත අපේක්ෂකයන් කැඳවා එක් අපේක්ෂකයකු වෙනුවෙන් වියදම් කළ යුතු මුදල දැනුම් දෙන බව කොමිසමේ ප්‍රකාශකයෙක් පැවසීය.

නාමයෝජනා දිනයෙන් පසු නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ආරම්භ කරන බවද ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරණයට අයවැයෙන් වෙන්කර ඇත්තේ රුපියල් කෝටි 1000 ක් පමණක් බවත් මෙම මුදල වැඩි කර ගැනීමේ හැකියාවක් නැති බවත් කොමිසම පවසයි.