නිදහස ජනතා සභාව සමගි ජන බලවේගයට එක්වෙයි

නිදහස ජනතා සභාව සමගි ජන බලවේගයට එක්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාව එළැඹෙන ජනාධිපතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ වැඩපිළිවෙලට සහාය දැක්වීමට තීරණය කර තිබෙනවා.

නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා එම සභාවේ අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මේ බව ප්‍රකාශ කළා.

සමගි ජන බලවේගයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිත ජනාධිපති අපේක්ෂකයා සමග එක්ව ශක්තිමත්, පළල්  බලවේගයක් නිර්මාණය කරන බවත් සියලුදෙනා එක්ව ශක්තිමත් වැඩපිළිවෙලක් රට හමුවේ තබා ජයග්‍රහණය කරා යන බවත් මහාචාර්යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

ආණ්ඩුව පරාජය කිරීම සඳහා වූ සටනේ දී නිදහස ජනතා සභාව විසින් සමගි ජන බලවේගය සමග සිදුකළ සාකච්ඡා ඉතාම සාර්ථක බව ද චරිත හේරත් මහතා පෙන්වාදුන්නා.

රට තුළ පුළුල් දේශපාලන වෙනසක් ඇති කිරීම සඳහා විපක්ෂය සමග ඉදිරි සති කිහිපය තුළ ඍජුව කටයුතු කිරීමට නියමිත බව ද ඔහු එම අවස්ථාවේ දී වැඩිදුරටත් කියා සිටියා.