ජාත්‍යන්තර මල්ලවපොර පදක්කමක් දිනූ නෙත්මි අහිංසා දිවයිනට

ජාත්‍යන්තර මල්ලවපොර පදක්කමක් දිනූ නෙත්මි අහිංසා දිවයිනට

ස්පාඤ්ඤයේ පැවති වයස අවුරුදු 20න් පහළ ලෝක ශූරතා කණිෂ්ඨ මල්ලවපොර තරගාවලියේ කාන්තා කිලෝග්‍රෑම් 53 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනාගත් ශ්‍රී ලංකා මල්ලවපොර ක්‍රීඩිකා නෙත්මි අහිංසා ඊයේ (08) රාත්‍රියේ දිවයිනට පැමිණියාය.

අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි- 396 දරණ ගුවන් යානයෙන් ඇය ඊයේ (08) රාත්‍රී 08.40ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.

ඇය එම තරගාවලියේ කිලෝග්‍රෑම් 53 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගත්තේ රුසියානු ක්‍රීඩිකා Valeria Mikitish ලකුණු 06-02ක් ලෙස පරාජය කරමින්.

ඉසව්වේ මූලික වට වල දී ඇය විසින් පිළිවලින් කසකස්තාන, බල්ගේරියා සහ හංගේරියානු ක්‍රීඩිකාවන්ට එරෙහිව ලකුණු 10 – 0, 10 – 0ක් සහ 14 – 3ක් ලෙස ජයග්‍රහණ ලබා ගනිමින් ඉසව්වේ අවසන් පූර්ව වටය දක්වා ඉදිරියට පැමිණීමට සමත්විය.

මල්ලවපොර ලෝක ශූරතා තරගාවලියක දී, ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකාවට පදක්කම් දිනාදුන් ක්‍රීඩිකාව ලෙස නෙත්මි අහිංසා ඉතිහාස ගතවේ.

ඇය, කුරුණෑගල – පන්නල – වෙල්පල්ල සංඝරත්න මහා විද්‍යාලයේ ඉගෙනුම ලබයි.

ස්පාඤ්ඤයේ, පොන්ටෙවෙඩ්පා නගරයේ පැවති මෙම තරගාවලිය වෙනුවෙන් ලෝකයේ රටවල් 100 කට අධික ප්‍රමාණයක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600 කට අධික පිරිසක් සහභාගී වී සිටියහ.

නෙත්මිව පිළිගැනීම සදහා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ නිලධාරීන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියේය.