මහ මැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්

මහ මැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට අදාළ නාම යෝජනා භාර ගැනීම අද (11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමිසම පැවසීය.

එමෙන්ම, මහමැතිවරණයට ඉදිරිපත්වන ස්වාධීන කණ්ඩායම්වලින් ඇප මුදල් භාර ගැනීම සහ නාමයෝජනා භාරදීමට ලබාදී ඇති කාලය ද අද (11) දහවල් 12 න් අවසන් බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

මේ වනවිට පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වැදීම සදහා පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 241 ක් නාමයෝජනා භාර දී ඇතැයි එම කොමිසම පැවසීය.

එමෙන්ම, ස්වාධීන කණ්ඩායම් 349 ක් දැනටමත් ඇප මුදල් තැන්පත් කර ඇති බව ද මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.

අද දහවල් නාම යෝජනා භාර ගැනීමෙන් අනතුරුව පැයක පමණ කාලයක් විරෝධතා දැක්වීමට අවස්ථාව සලසා තිබේ.

එහිදී විරෝධතා කාලයෙන් අනතුරුව ස්වාධීන කණ්ඩායම් සදහා වන ලකුණු සහ පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂ ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රි රත්නායක පැවසීය.