කපා කොටා ඝාතනය කළ අයෙකුගේ සිරුරක් වෝඩ් පෙදෙසේ ත්‍රීරෝද රථයකින් හමුවෙයි

කපා කොටා ඝාතනය කළ අයෙකුගේ සිරුරක් වෝඩ් පෙදෙසේ ත්‍රීරෝද රථයකින් හමුවෙයි

තියුණු ආයුධ වලින් පහරදී කපා කොටා ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් වෝඩ් පෙදෙස දන්ත රෝහල ඉදිරිපිට ත්‍රිරෝද රථයක් තුළ තිබී සොයා ගත් බව කුරුඳුවත්ත පොලිසිය පවසයි.‍

එලෙස ඝාතනය කර ඇත්තේ, අවුරුදු 33ක පමණ පුද්ගලයෙකු බවයි, පොලීසිය සඳහන් කළේ.

අද (23) අලුයම 1.30 ට පමණ කුරුඳුවත්ත පොලීසියට 119 හදිසි ඇමතුම් අංකයට ලද පණිවුඩයක් මත ත්‍රීරෝද රථය සොයා ගෙන තිබුණි.

අදාළ ත්‍රීරෝද රථය සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සිදුකළ සොයා බැලීමේ දී එය අංක 28/01, කජ්ජුගහවත්ත, ලබුහේන්ගොඩ, මිද්දෙනිය ලිපිනයේ පදිංචි විතාරණගේ අසංක කරුණාතිලක යන අයගේ බවට අනාවරණය වී තිබේ.

පසුව එම පුද්ගලයාගෙන් කරුණු විමසීමේ දී ඔහු පවසා ඇත්තේ, ත්‍රීරෝද රථය තම මස්සිනා වන දියවින්නගේ චමින්ද කුමාර (33 හැවිරිදි) නැමැත්තාට හයර් දිවීම සඳහා ලබා දී ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.