ප්‍රදේශ දෙකක මනුෂ්‍ය ඝාතන දෙකක්

ප්‍රදේශ දෙකක මනුෂ්‍ය ඝාතන දෙකක්

වැල්ලවත්ත පොලිස් වසමේ ඔචාර්ඩ් වෙළෙඳ සංකීර්ණය අසලදී ඊයේ (16) උදෑසන කාලයේ පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 46ක් වූ ජම්පටා වීදිය, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි, පොලීසිය පැවසුවේ.

ඔහු සේවය කළ වෙළෙඳ සැලෙහි හිමිකරු අතර ඇතිවූ පුද්ගලික ආරවුලක් මත වෙළෙඳසැල් හිමිකරු විසින් සිදුකළ පහරදීමකින් මෙම ඝාතනය සිදුවී ඇති බවට අපරාධය සම්බන්ධව සිදුකළ වැඩිදුර විමර්ශනවලදී පොලීසිය අනාවරණය කරගෙන ඇත.

ඝාතනයට අදාළ වයස අවුරුදු 42ක් වූ වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි වෙළෙඳසැල් හිමිකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මියගිය පුද්ගලයාගේ දේහය කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වැල්ලවත්ත පොලීසිය සිදුකරන බව සඳහන්.

මේ අතර, ඊයේ (16) අළුයම් කාලයේ හලාවත පොලිස් වසමේ මහ විලත්තව ප්‍රදේශයේදී වයස අවරුදු 65ක් වූ කාන්තාවක් ඝාතනය කර ඇති බව හලාවත පොලිසිය පවසයි.

මරණකාරිය වයස අවුරුදු 65ක් වූ මූකලන්හේන, බිංගිරිය ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මෙම කාන්තාව විලත්තව මාර්ගය අයිනේ මිය ගොස් වැටී සිටි බවට මරණකාරියගේ දියණිය ප්‍රකාශයක් ලබා දී ඇති අතර, දියණියගේ ස්වාමි පුරුෂයා මරණකාරිය සොයා යතුරුපැදියෙන් රාත්‍රියේ ගමන් කරමින් සිටියදී පුද්ගලයෙකු කාන්තාවක් ඔසවාගෙන යනු දුටු බවටත්, ඔහු යතුරුපැදි එළියෙන් එම පුද්ගලයා හඳුනාගත් බවටත්, ප්‍රකාශයක් ලබා දී තිබෙන බවයි පොලිසිය පැවසුවේ.

ඒ අනුව, බිංගිරිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරු මත මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ අත්අඩංගුවට ගෙන හලාවත පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙන බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.