ගල්කිස්ස පොලිස් අධිකාරී කාර්යාලයේ ගින්නක්

ගල්කිස්ස පොලිස් අධිකාරී කාර්යාලයේ ගින්නක්

ගල්කිස්ස කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගොඩනැගිල්ලේ පහත මහලේ පිහිටි පොලිස් අධිකාරී (01) කාර්යාලයේ හදිසියේ ඇතිවූ ගින්නකින් එහි දේපළ රැසකට හානි සිදුවී තිබේ.

ගින්න හටගන්නා අවස්ථාවේදී පොලිස් අධිකාරි රොහාන් පුෂ්ප කුමාර මහතා කාර්යාලය තුළ සිට නැති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

සිදු වූ ගින්නෙන් පරිගණක, ලිපිගොනු සහ දේපළ රැසකට හානි සිදුවී ඇති බව පොලිසිය පවසයි.

ගින්නත් සමගම වහා ක්‍රියාත්මක වූ යාබද කාර්යාලයේ නිලධාරීන් ගින්න පාලනය කිරීමට කටයුතු කර ඇති අතර දෙහිවල ගල්කිස්ස නගර සභාවේ නිලධාරීන් පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත.

ගල්කිස්ස කොට්ඨාසයේ අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන්ද පැමිණ ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණ මහතාගේ උපදෙස් මත ගල්කිස්ස මූලස්ථාන වැඩ බලන ප්‍රධාන පොලිස් පරීක්ෂක රංග පෙරේරා මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.