21න් ඉවරයි කියලා හිතන්න එපා – හොර ලේඛණ සමාජ මාධ්‍යයේ දැමූ අයට එරෙහිව උසාවි යනවා

21න් ඉවරයි කියලා හිතන්න එපා – හොර ලේඛණ සමාජ මාධ්‍යයේ දැමූ අයට එරෙහිව උසාවි යනවා

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ ඉලක්ක කරගනිමින් ඩිල්මා සමාගමේ හිටපු සභාපති කීර්තිමත් ව්‍යාපාරික දිවංගත මෙරිල් ජේ ප්‍රනාන්දුගේ අත්සන සහිතව නිකුත් කළ බව කියමින් සමාජ මාධ්‍යයට නිකුත් කර ඇති ලිපිය සම්බන්ධව 21 වැනිදායින් නොනවතින දීර්ඝ නෛතික ක්‍රියාවලිකයට යන බව ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ජාතික ජන බලවේගය විසින් ඊයේ (15) කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

2021 මැයි 14 දිනැතිව Dilmah සමාගමේ හිමිකරු වූ මෙරිල් ජේ. ප්‍රනාන්දු නමින් අත්සන් තැබූ මෙම ලිපිය ‘වාර්ෂික අනුග්‍රාහකත්ව මුදල සම්බන්ධවයි’ යනුවෙන් ශීර්ෂගත කර තිබුණු එකකි.

එම ලිපියෙහි සඳහන්ව ඇත්තේ, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ විසින් ඉල්ලා ඇති ‘වාර්ෂික අනුග්‍රාහකත්ව මුදල’ ලෙස සඳහන් කළ රුපියල් ලක්ෂ 15ක මුදල ගෙවා අවසන් බවයි.

එසේ තිබියදීත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ Dilmah සමාගමේ අයෙකු යළිත් මුදල් ඉල්ලා තර්ජනය කරන බවයි.

මෙම ලිපිය සහමුලින්ම ව්‍යාජ එකක් බව Dilmah සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබිණි.

ඒ සම්බන්ධව ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් වැඩිදුරටත් මෙසේ ද පැවසුවේය.

“ඩිල්මා සමාගමේ හිටපු සභාපති, මෙරිල් ජේ. ප්‍රනාන්දු මහත්මයාගේ අත්සනින් ‘වාර්ෂික අනුග්‍රාහකත්වය’ යනුවෙන් 2021 මැයි මාසයේ 14 දිනයක් සඳහන් කරමින්, ලිපියක් මුදාහැර තිබෙනවා.

මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතා ‘ඩිල්මා’ කියන නාමය ලෝකය පුරා ගෙන ගිය තේ සම්බන්ධයෙන් කීර්තිමත් නාමයක් ලංකාවට හිමි කර දුන් අයෙක්.

ළඟ දී අභාවප්‍රාප්ත වූ එතුමාගේ අත්සන ව්‍යාජ ලෙස පාවිච්චි කරමින්, මඩ ප්‍රචාර දියත් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සැප්තැම්බර් 14 වැනිදා ඩිල්මා සමාගමේ ලේකම්, ජෑන්ගා වෑගොඩපොළගේ අත්සනින් අපට ලියුමක් එවා තිබෙනවා.

එවැනි ලිපියක් මෙරිල් ප්‍රනාන්දු මහත්මාගේ අත්සනින් නිකුත් කර නැති බව ලේකම්වරිය දන්වා තිබෙනවා.

එම ව්‍යාජ ලිපිය සමාජ මාධ්‍යයට මුදාහැරි සහ එය ප්‍රචාරය කරන්න දායක වුණු අයට විරුද්ධව අප අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා.

අප මේ කටයුතු සිදු කරන්නේ 21 වැනිදා තෙක් බව සමහර අය කල්පනා කරන නමුත්, අපරාධ සහ සිවිල් වශයෙන් මේ නින්දිත ක්‍රියාවලට විරුද්ධව අපි අධිකරණමය කටයුතුවලට ප්‍රවේශ වෙනවා.

මින් ඉදිරියට අපට විරුද්ධව ගෙන යන මඩ, අවලාද, අසත්‍ය ප්‍රකාශවලට විරුද්ධව අපි අධිකරණමය ක්‍රියාමාර්ග නිශ්චිත වශයෙන්ම ගන්නා බව අවධාරණය කරනවා.