ඇලෝසියස්ගේ බිලියන ගානක බදු සල්ලි වලට මොකද උනේ?
රජයට අය විය යුතු වැට් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු තිදෙනෙකු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔක්තෝබර් 14 වන දින මාස 06ක කාලයකට රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස නියම කෙරුනා.
2016 වසරේ මහ බැංකුව මගින් ගිණුම් අත්හිටවූ පසු මෙන්ඩිස් සමාගම භෞතික මුඳල් ගනුදෙනු ක්‍රමයට කටයුතු පවත්වාගෙන ගොස් ඇති අතර විශාල ලෙස සිදු කෙරුණු එම සමාගමේ විකුණුම් ආදායම් ආයතන තුළ මුදල් වශයෙන් තබාගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
එනම් මත්පැන් අලෙවියෙන් උපයාගන්නා මුදල් මෙන්ඩිස් සමාගමට අයත් වැලිසර ශාඛාවේ විශේෂ ආරක්ෂිත සේප්පු කාමර තුළ මුදල් වශයෙන් තැන්පත් කර ඇති බවට එම ආයතනයේ නිලධාරීන්ගේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තා වේ.
කෙසේ වෙතත් 2018 වසරේ ඇලෝසියස් සිරගත වීමෙන් පසු, එම ආයතනයේ සම්පූර්ණ කලමණාකාරීත්ව භාරගෙන තිබුනේ නදීකා කරුණාරත්න නැමති කාන්තාව බවටයි තොරතුරු වාර්තා වන්නේ.
පෞද්ගලික යූ ටියුබ් නාලිකාවක් සමග පැවති සාකච්චාවකට එක් වෙමින් ඇය පවසා තිබෙන්නේ අදාළ කාලය තුළ සියලු වගකීම් තිබුණේ තමාට බවත්, එම කාලයේ අර්ජුන් ඇලෝසියස් සිරගතව සිටි බවත්, ආයතනයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළේ තමාගේ සහෝදරයා වන ප්‍රසන්න සිල්වා නැමැත්තා බවත්ය.
එම සාකච්චාවට අදාළ වීඩියෝව මෙම https://youtu.be/PBcBgjpTXX8 සබැඳිය ඔස්සේ නැරඹිය හැක.
මේ අතර ප්‍රසන්න සිල්වා නැමැත්තාට අධිකරණය මග හැරීමේ කාරණාව මත මේ වන විට වරෙන්තු නිකුත් කර ඇති අතර, ඔහු ඉන්දියාව හරහා සිංගපූරුවට පිටත් කර හැරීමට මේ වන විටත් කටයුතු සූදානම් කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
කෙසේ හෝ මෙන්ඩිස් සමාගම වරින් වර එකතු කරගන්නා ලද රුපියල් බිලියන ගණනක මුදල් නදීකා කරුණාරත්න සහ ප්‍රසන්න සිල්වා විසින් හංසගිරි සමූහ ව්‍යාපාරයේ ආයෝජනය කර ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණය වී තිබේ.
ඒ අනූව ඇය විසින් සුරා සැල් 80ක් පමණ දිගු කාලීන බද්ධට ලබාගෙන ඇති අතර ඒ සඳහා අත්තිකාරම් ලෙස රු මිලියන 20 සිට 100 දක්වා මුදල් මුදලින් ලබාදී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
එම සුරාසැල් තුළින් ලැබෙන ආදායම් ඔවුන්ගේ ආයතනයේ සාමාන්‍ය ආදායම ලෙස ගිණුම්ගත වන අතර සුරා සැල් හිමියන්ට ඉතා සුළු මුදලක් කුලිය ලෙස ගෙවා තිබේ.
එහෙත් ඇත්ත වශයෙන්ම ඔවුන්ට ඉතා විශාල මුඳල් ප්‍රමාණයක් මුදලින් ගෙවා තිබෙන අතර ඒ ආකාරයට මුදලින් ගෙවීම හේතුවෙන් එම බද්දට ගත් සුරා සැල් හිමියන්ටද බදු ගෙවීම පැහැර හැරීමට අවස්ථාව හිමිවී ඇති බවටයි තොරතුරු අනාවරණය වී තිබෙන්නේ.
ඒ අනුව අර්ජුන් ඇලෝසියස්ගෙන් බදු අයකර ගැනීමට හැකි අවස්ථාවන් පැහැදිලි වන බවට තොරතුරු අනාවරණය වී ඇති බැවින් එම බදු මුදල් අය කර ගැනීමට අදාළ විමර්ශන සිදුකර එම මුදල් අය කරගැනීමට හැකි බවට විමර්ශන නිලධාරීන්ගෙන් තොරතුරු අනාවරණය වී තිබේ.
රජයට අය විය යුතු වැට් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු තිදෙනෙකු රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගියදා නියෝග කෙරිනි.
2016 වසරේ සිට 2019 වසර දක්වා කාල සීමාව තුළ රජයට අය විය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම වග උත්තරකරුවන්ට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව ගොනු කරනු ලැබ තිබිණි.
අදාළ බදු මුදල් ගෙවන ලෙස අධිකරණය වග උත්තරකරුවන්ට ඉකුත් වසරේ නොවැම්බර් මස 14 වනදා නියෝගයක් නිකුත් කළේ ය.
මෙම නඩුව සඳුදා (ඔක්: 14) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබී ය.
එහිදී, අදාළ නඩුවේ වග උත්තරකරුවන් වශයෙන් නම් කර සිටි අර්ජුන් ඇලෝසියස් සහ ඇන්තනි රන්දෙව් දිනේන්ද්‍ර ජෝන් යන විත්තිකරුවන් දෙදෙනා අධිකරණයෙහි පෙනී සිටියහ.
අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කළේ, ඉකුත් නොවැම්බර් මස නිකුත් කළ තීන්දුවට එරෙහිව තම සේවා දායකයින් කොළඹ මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව ය.
එහෙත් කොළඹ මහාධිකරණය විසින් අදාළ බදු මුදල් ගෙවන ලෙස ඉකුත් නොවැම්බර් මස 14 වන දා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගය ක්‍රියාත්මක වීම අත්හිටුවා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබ නොමැති බවත් අධිකරණය හමුවේ කරුණු අනාවරණය විය.
ඒ අනුව, ඔක්තෝබර් 14 වන දිනය තුළ අදාළ බදු මුදල් ගෙවා අවසන් කළ යුතු බවත් එසේ නොකළහොත් මාස 06ක සිර දඬුවම් නියම කරන බවත් මහේස්ත්‍රාත්වරයා විසින් වග උත්තරකරුවන්ට නියෝග කළේ ය.
ඒ අනුව අදාළ මුදල් නොගෙවීම හේතුවෙන් වග උත්තරකරුවන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය විසින් නියෝග කෙරිණි.