මුස්ලිම් විවාහ නීතිය ගැන ස්ථාවරය ඡන්දෙට කලින් කියන්නැයි ජනපතිට සංදේශයක්
මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය සම්බන්ධව මහ මැතිවරණයට පෙර සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කළ යුතු බව ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරියට විවෘත සංදේශයක් යොමු කර තිබෙනවා.
එම සංදේශයේ සඳහන් කර ඇත්තේ, මුස්ලිම් විවාහ දික්කසාද නීතියේ බලපෑමට ලක්ව සිටින මුස්ලිම් කාන්තාවන්ගේ ඡන්දය ලබා ගැනීමට නම් මැතිවරණයට පෙර මුස්ලිම් විවාහ දික්කසාද පනත සංශෝධනය සම්බන්ධයෙන් ස්ථාවරය ජාතික ජන බලවේගය ප්‍රකාශ කළ යුතු බවයි.
මුස්ලිම් සිවිල් සංවිධාන 18ක් සහ සිවිල් පුරවැසියන් 135ක් එක්ව මෙම සංදේශය ඉදිරිපත් කර තිබුණා.
‘කාති ක්‍රමය’ අන්තර්ගත මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බවත් එය බදු ගෙවන්නන්ගේ මුදලින් නඩත්තු වන්නක් වන බැවින් මෙම ගැටලුව විසඳීම සම්බන්ධයෙන් කටයුතු කිරීම රජයේ වගකීමක් බවද එහි සඳහන්.
කාන්තාවන් හා ගැහැණු දරුවන්ට වෙනස් කොට සැලකීම සම්බන්ධයෙන් එම ක්‍රමය නම් දරා ඇති බවද අදාළ සංවිධාන අවධාරණය කරනවා.
එමෙන්ම, කාන්තාවන් හා දරුවන්ට වෙනස් කොට සලකන හා ඔවුන්ට අතිරේක පීඩනයන් එල්ල කරන නීති සංශෝධනය කරන බවට මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී ජාතික ජන බලවේග රජය පොරොන්දු වූ බවද එහි සඳහන්.
එසේ නොවන්නේ නම්, මෙම රජය ද මුස්ලිම් කාන්තාවන්ට බලපාන ගැටලු සම්බන්ධයෙන් පියවර ගැනීමට ඉදිරිපත් නොවන රජයක් ලෙස දැකීම හැර වෙනත් විකල්පයක් නොමැති බව එම සංදේශය මඟින් අවධාරණය කර තිබෙනවා.
එම සංදේශයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ හරහා ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කරමින් කාන්තාවන්ට සහ දරුවන්ට, ආන්තික වුවන්ට වෙනස් කොට සලකන සියලු නීති සංශෝධනය කිරීමට කටයුතු කරනු ඇතැයි විශ්වාසය මත ජනාධිපතිවරයාට ඡන්දය භාවිත කළ බවයි.
වසර හතළිහක් පුරා ම කාන්තාවන් හා දරුවන්ගේ අයිතිවාසිකම් ප්රමුඛව සලකමින් මුස්ලිම් විවාහ දික්කසාද පනත සංශෝධනය කිරීමට මැදිහත්වීමට සියලු දේශපාලන පක්ෂ අසමත් වී ඇති බවත් මේ හේතුවෙන් අදාළ පනත සංශෝධනය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය සිය ස්ථාවරය ප්‍රකාශ කළ යුතු බවද එම සංදේශය තවදුරටත් අවධාරණය කර තිබෙනවා.
මුස්ලිම් විවාහ නීතිය වෙනස් කිරීමට කිසිදු උවමනාවක් රජයට නොමැති බව පසුගියදා (06) බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසා සිටියා.
මුස්ලිම් විවාහ නීතිය හෝ කිසිදු ආගමික නීතියක් සංශෝධනය කිරීමට රජය තීන්දු කර නැති බවත් එවැනි නීති ප්රතිසංස්කරණයක් සිදුවන්නේ නිසැකව ම ආගමික නායකයන් සමග වූ සංවාදයකින් පසුව බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කර තිබුණා.
මේ අතර, මුස්ලිම් විවාහ හා දික්කසාද පනත (MMDA) ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවයක් නැති බවට ජාතික ජන බලවේගයේ අමාත්‍ය විජිත හේරත් දැක්වූ අදහස් මුළුමනින් වැරදි සහ පදනම් විරහිත ප්‍රකාශයක් ලෙස සලකමින් ප්‍රතික්ෂේප කරන බව ආර්ථික යුක්තිය උදෙසා ස්ත්‍රීවාදී එකමුතුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම සංවිධානය පෙන්වා දෙන්නේ NPP ආණ්ඩුවේ මෙම ප්‍රකාශය මෙන්ම පෙර සිටි ආණ්ඩුවල සහ දේශපාලන පක්ෂවල මේ හා සමාන ප්‍රකාශයන්, මුස්ලිම් ස්ත්‍රීන් සහ ගැහැනු ළමුන්ගේ ජීවන අත්දැකීම් මත පදනම්ව MMDA ප්‍රතිසංස්කරණ අරබයා කෙරෙන යුක්ති සහගත ඉල්ලීමට අවමන් කිරීමක් බවයි.
NPP හි ප්‍රධාන පාර්ශවකරුවකු වන ප්රගතිශීලී ස්ත්‍රී එකමුතුවද (PWC) මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ප්‍රතිසංස්කරණය කිරීමට සහයෝගය පළකර ඇති හේතුවෙන් සහ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක් (2024)” නම් වූ NPP ප්‍රතිපත්ති ප්රකාශනයෙහි ම ස්ත්‍රීන් වෙනස් කොට සැලකීමට ලක්වන නීති සංශෝධනය කරන බවට ලබා දී ඇති ප්‍රතිඥාව හේතුවෙන් විජිත හේරත් අමාත්‍යවරයාගේ ප්‍රකාශය ප්‍රශ්නගත තත්වයක ඇතිබවද එම සංවිධානය අවධාරණය කරනවා.