මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

රජය විසින් රටපුරා නව සුරාසල් විවෘත කිරීමට බලපත්‍ර ලබාදීමෙන් සිදුවන සමාජ පරිහානිය සම්බන්ධයෙන් සමාජ කැළඹීමක් ඇතිවීමට පෙර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමන් කඩිනම් අවධානය යොමු කොට සමස්ත ජන සමාජයේ පරිහානියට හේතු වන අප්‍රතිකාරී එම ක්‍රියාවලිය නවතා දමන ලෙස දන්වමින් මල්වතු අස්ගිරි මහානා හිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයාට ලිපියක් යොමු කොට තිබේ.

එම ලිපියේ වැඩිදුරටත් මෙසේ සඳහන්ය.

සාරධර්මයන්ගෙන් පිරිපුන් ආදර්ශවත් සමාජයක් නිර්මාණය කිරීමට පුද්ගල කායික මානසික ඒගාග්‍රතාව අතිශය වැදගත්වේ . පුද්ගල කායික මෙන්ම මානසික සෞඛ්‍යය ද පිරිහීමට හේතුවන මත්පැන් පානයෙන් වැළකීම බෞද්ධ පංචශීල ප්‍රතිපදාවේ පස්වන ශික්ෂා පදයයි . වර්තමානයේ රටක් ලෙස අප මුහුණ දී ඇති බරපතළ සමාජ ව්‍යසනයක් වනුයේ මත්ද්‍රව්‍ය හා මත්පැන් පානය සඳහා ජනයා ඇබ්බැහිවීමයි .එවන් පසුබිමක පටු ආත්මාර්ථකාමී ආර්ථික වාසි මෙන්ම දේශපාලන අවශ්‍යතා පූර්ණය කර ගැනීමේ ජුගුප්සාජනක පරමාර්ථ පෙරදැරි කොට සුරාසල් බලපත්‍ර ලබාදීමට රජය කටයුතු කිරීම මහා සංඝරත්නය ලෙස අපි කිසිසේත් අනුමත නොකරන බව බරපතළ ලෙස අවධාරණය කර සිටිමු.

රටක තිරසාර ආර්ථික සංවර්ධනය යනු රටට අත්‍යවශ්‍ය වූ සංස්කෘතික හර පද්ධතීන් හා සභ්‍යත්වය මෙන්ම සමාජ සාරධර්ම ආරක්ෂා කොට ආර්ථික වශයෙන් රට සංවර්ධනය කිරීමයි . එහෙත් සමාජ සාරධර්ම හායනයට සෘජුව හේතු වන මහජනයාගේ කායික මෙන්ම මානසික සෞඛ්‍ය විනාශ කරන මත්පැන් භාවිතය ප්‍රවර්ධනයට කටයුතු කිරීම සමස්ත සමාජ සංස්ථාවන්ගේ බිඳවැටීම සහතික කරන්නකි.

රටක තිරසාර සංවර්ධනය උදෙසා භෞතික මෙන්ම අධ්‍යාත්මික දියුණුව එක සේ වැදගත් වන බව බුද්ධ දේශනාවයි . ආධ්‍යාත්මික සංවර්ධනය පිළිබඳ නොසිතා පටු ආත්මාර්ථකාමී ආර්ථික අභිලාෂයන්ගෙන් මෙහෙයවන තැනැත්තා එකැස් ඇතියෙකුට සමාන වන බව බුද්ධ දේශනාවයි . එවැනි පුද්ගලයෙක් ලෝකයේ මෙහෙයවන තැනැත්තා සැබෑ තත්වය නොදකින්නේ නම් සේද එමෙන්ම ආර්ථික සංවර්ධනය පමණක් සිතා සදාචාරාත්මක ගුණවගාවෙන් යුක්ත වීම හේතුවෙන් සමස්ත සමාජ සංස්ථාවන් බිඳවැටෙන බව මෙරට මහජන නියෝජිතයන් වටහා නොගැනීම සමස්ත ජාතියේ අවාසනාවක් බව කණගාටුවෙන් වුවද ප්‍රකාශ කළ යුතුව ඇත .දරුවන්ට දෙමව්පිය සෙනෙහස, බිරිඳට ස්වාමියා රටට ශ්‍රම බලකාය මෙන්ම පුද්ගලයාට කායික මානසික ඒකාග්‍රතාව අත්‍යවශ්‍යව පවතින පසුබිමක කිසිදු පරීක්ෂාවකින් තොරව විවිධ ආගමික සිද්ධස්ථාන මෙන්ම පාසල් ආශ්‍රයෙහි මත්පැන් හලවල් විවෘත කිරීම සඳහා රජය බලපත්‍ර ලබාදීමට කටයුතු කිරීම බොහෝ අනාගත ව්‍යසනයන්ට දොරගුළු විවර කරන්නකි.

මහජන යහපත උදෙසා ව්‍යවෘත වන්නට සපථ කළ මහජන නියෝජිතයන් එවැනි කාර්යයන් සඳහා පෙරටුගාමී වීම සමස්ත රටවාසීන්ගේ අනාගතය අඳුරේ හෙලන්නක් බව නොරහසකි . මෙම අප්‍රතිකාරී ක්‍රියාදාමයට විරුද්ධව පසුගිය වෙසක් පුන් පොහෝ දින වෙසක් පුන්නෝත්සවය සැමරීමෙන් වැළකී විරෝධතාව පළකිරීමට ඇතැම් පෙදෙස්වල මහා සංඝරත්නය කටයුතු කළහ . එහෙයින් මෙම ගැටලුව දැඩි සමාජ කැළඹීමක් බවට පත්වීමට පෙර මේ පිළිබඳ ගරු ජනාධිපතිතුමන්ගේ කඩිනම් අවධානය යොමු කොට මෙම සමස්ත ජන සමාජය පරිහානියට හේතුවන මෙම අප්‍රතිකාරි ක්‍රියාවලිය නවතා දමන ලෙසත් අනාගත පරපුර විෂ මත්ද්‍රව්‍යයන්ට බිලිදෙන අනර්ථකාරී ක්‍රියා පිළිවෙත් සපුරා තහනම් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් හිත්තාධ්‍යාශයෙන් යුතුව දන්වා සිටිම්හ.

Share This