පාසලේ දී වුනු හිරිහැර නිසා අපේ දුව ලොකු පීඩනයකින් හිටියේ – නෙළුම් කුළුණෙන් පැන මියගිය දැරියගේ මාපියන්ගෙන් නිවේදනයක්

පාසලේ දී වුනු හිරිහැර නිසා අපේ දුව ලොකු පීඩනයකින් හිටියේ – නෙළුම් කුළුණෙන් පැන මියගිය දැරියගේ මාපියන්ගෙන් නිවේදනයක්

පසුගියදා කොළඹ නෙළුම් කුළුණේදී මියගිය නව යොවුන් වියේ දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් ජනමාධ්‍ය මගින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් ඇයගේ මාපියන් කණස්සල්ල පළකර තිබේ.

ප්‍රකාශයක් නිකුත් කරමින් මියගිය දැරියගේ මාපියන් පවසන්නේ, බාලවයස්කාර දැරියකගේ නම, ඇයගේ තොරතුරු සහ ඇයගේ පවුලේ අය සම්බන්ධ වෙනත් පෞද්ගලික තොරතුරු ප්‍රසිද්ධ කිරීම ඇතුළුව, ජනමාධ්‍ය ආයතන කිහිපයක් විසින් ජනමාධ්‍ය ආචාරධර්ම උල්ලංඝනය කර ඇති බවයි.

තම දියණියගේ වියෝව සම්බන්ධයෙන් තවමත් කම්පා වන බවයි, ඔවුන් සදහන් කළේ.

වීඩියෝ ක්‍රීඩාවල නිරත වීම, දෙමාපිය පීඩනය, හිරිහැර වලට ලක් වීම සහ මත්ද්‍රව්‍ය භාවිතය යන කරුණු ළමා ආරක්ෂාව පිළිබද මාතෘකා වන අතර ඒවා සිය දියණියගේ මරණය පිළිබද නිගමනයට යොදාගැනීම අසාධාරණ, අසත්‍ය හා නින්දා සහගත බවයි ඔවුන් එම ප්‍රකාශයෙන් දක්වා තිබෙන්නේ.

එමෙන්ම පසුගියදා අල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් පැන සියදිවි හානිකරගත් සිය මිතුරන් දෙදෙනා සම්බන්ධයෙන් සිය දියණිය මහත් කණගාටුවෙන් සිටි අතර ඉන් ඇය මුදා ගැනීම සදහා විශේෂඥ සහාය ලබා ගෙන, නිසි මාර්ගයට රැගෙන එමින් සිටි බව අදාළ ප්‍රකාශයේ දැක්වෙනවා.

කෙසේ වෙතත්, දැරියගේ දෙමව්පියන් සදහන් කළේ දැරිය යථා තත්වයට පත්වෙමින් සිටින පසුබිමක ඇයගේ පාසලේ, ඇතැම් ගුරුවරුන් සහ දෙමාපියන් සිදු කරන ලද අසත්‍ය කටකතා හේතුවෙන් ඇය පීඩාවට පත්ව සිටි බවයි.

එහිදී ගුරුවරුන් හා ඇතැම් දෙමව්පියන් අල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් පැන සියදිවි හානිකරගත් සිය මිතුරන් දෙදෙනා සම්බන්ධයෙන් සිය දියණිය කළින් සිට දැන සිටි බවට ප්‍රචාරයක් සිදු කළ තිබෙනවා.

මෙම කාරණය සම්බන්ධයෙන් සිය දියණියට නඩු පවරා විමර්ශන සිදු කළ යුතු බවට ඇතැම් දෙමාපියන් චෝදනා කර තිබූ බවත් අනෙක් දරුවන් සිය දියණියගෙන් ඈත් කර තබන ලෙසට පවසා තිබූ බවත් දැරියගේ දෙමාපියන් පවසනවා.

මෙවැනි කටකතා නිසා සහ දෙමාපිය බලපෑම් හමුවේ සිය දියණිය වඩාත් පීඩාකාරීව කාලය ගත කළ බවත්, මේ හේතුවෙන් ඇයට වෙනත් පාසලකට මාරු කර යැවීමට සිතූ බවත් අදාළ ප්‍රකාශයේ සදහන්.

කෙසේ වෙතත් සිය දියණිය එල්ල වූ පීඩනයන් ඇයට දරාගත නොහැකි මට්ටමට ළගා වූ බව ද එම නිවේදනයේ දැක්වෙනවා.