පොලී රහිත ණය දෙන්න ගිවිසුම් අත්සන් කරයි

පොලී රහිත ණය දෙන්න ගිවිසුම් අත්සන් කරයි

කෘෂිකර්ම නවීකරණ වැඩසටහනෙහි පළමු අදියර යටතේ කෘෂි ව්‍යවසායකයින් සහ ගොවීන් සඳහා පොලී රහිත ණය ලබාදීමේ ක්‍රියාවලියට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (22) ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

පළමු අදියරේදී මෙම වැඩසටහන සඳහා දායකත්වය ලබා දෙන ලංකා බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ජානක ධර්මකීර්ති මහතා විසින් එම අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීය.

ඒ අනුව ඉදිරියේ දී මහජන බැංකුව සමඟද ගිවිසුම් අත්සන් කිරීමට නියමිතය.

කෘෂි නවීකරණ වැඩසටහනෙහි පළමු අදියරයේ දී නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 26හි කෘෂි නවීකරණ කේන්ද්‍රස්ථාන හරහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 25 බැගින් රුපියල් මිලියන 650 ක මුදලක් වෙන් කර ඇති අතර, දෙවන අදියරයේදී රුපියල් මිලියන 10ක කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 75ක් හඳුනාගෙන ඇත.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි කෘෂි නවීකරණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී, අදාළ ව්‍යාපෘති පිරිවැයෙන් 30% කට වැඩි දායකත්වයක් කෘෂි ව්‍යවසායකයින් සහ ගොවීන් විසින් දරනු ලබන අතර ඉතිරි 70% සඳහා රජය දායකත්වය දරයි.

චක්‍රීය ණය යෝජනා ක්‍රමයක් ලෙස ක්‍රියාත්මක කිරීමට හැකිවනු පිණිස රජය විසින් ලබාදෙන දායකත්වය කෘෂි නවීකරණ ණය යෝජනා ක්‍රමය යටතේ පොළී රහිත ණයක් ලෙස ලංකා බැංකුව, මහජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන රාජ්‍ය බැංකු ත්‍රිත්වයෙන් ප්‍රතිලාභියාගේ ස්වකැමැත්ත අනුව තෝරා ගන්නා ලද බැංකුවක් මගින් නැවත අයකර ගැනීමට හැකි වන පරිදි ක්‍රමවේදයක් සකස්කර ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්ගේ නමින් වන ගිණුමක තැන්පත් කර ඇති අරමුදලින් තෝරාගත් හා අනුමැතිය ලද ව්‍යාපෘති සඳහා ලංකා බැංකුව, මහජන බැංකුව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන බැංකු ත්‍රිත්වය අතරින් ප්‍රතිලාභියාගේ ස්වකැමැත්ත අනුව තෝරා ගන්නා ලද බැංකුවක් හරහා කෘෂි ව්‍යවසායකයින් වෙත පොලී රහිත ණයක් ලෙස මෙම මුදල් ලබා දීම සිදුවේ.

ණය සහන කාල සීමාව උපරිම මාස 06ක් වන අතර, ණය සහන කාල සීමාව ද ඇතුලත්ව ණය මුදල ආපසු ගෙවිය යුතු උපරිම කාල සීමාව වසර 05කි.

එසේම ණය සහන කාල සීමාව හා ණය මුදල ආපසු ගෙවිය යුතු කාල සීමාව ගොවීන් හෝ කෘෂි ව්‍යවසායකයින් විසින් ලබා ගන්නා ලද ණය මුදලේ ප්‍රමාණය හා ව්‍යාපෘතියේ ස්වභාවය මත කෘෂිකර්ම නවීකරණ කේන්ද්‍රස්ථාන මගින් තීරණය කෙරේ.