ලක්ෂ විස්සකට අධික රියැදුරු බලපත්‍ර අවලංගු කරන්න සැලසුම්

ලක්ෂ විස්සකට අධික රියැදුරු බලපත්‍ර අවලංගු කරන්න සැලසුම්

ඒ සියලුම රියැදුරු බලපත්‍ර සුහුරු චීපය රහිත වසර අටකට වරක් අලුත් කිරීමට අවශ්‍ය ඒවා නොවන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ පවසයි.

මේ වනවිට පසුගිය කාලයේ මුද්‍රණය කරගත නොහැකිව ගොඩගැසී තිබූ රියැදුරු බලපත්‍ර ලක්ෂ තුනක පමණ ප්‍රමාණයක් තිබෙන බවත් ඉදිරි මාස තුන ඇතුළත එම බලපත්‍ර ද මුද්‍රණය කර දීමෙන් පසු පැරණි රියැදුරු බලපත්‍ර සියල්ලම අවලංගු කිරීමට කඩිනම් පියවර ගන්නා බවත් කොමසාරිස් ජනරාල්වරයා කීවේය.

පැරණි රියැදුරු බලපත්‍ර පොත් සහ සුදු පැහැ කාඩ්පත්වලින් නිකුත් කර ඇති බවත් එම රිය බලපත්‍ර ලක්ෂ විස්සෙන් ලක්ෂ දාහතරක පමණ සංඛ්‍යාවක් බර වාහන බලපත්‍ර බවත් කී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා මෙමගින් පැරණි රියැදුරු බලපත්‍ර සියල්ලම භාවිතයෙන් ඉවත් කරන බවත් සඳහන් කළේය.

මෙරට දෙකෝටි තිස් දෙලක්ෂයක ජනගහනයෙන් ලක්ෂ හැටකට අධික පිරිසක් රියැදුරු බලපත්‍ර හිමියන් බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියැදුරු බලපත්‍ර කොමසාරිස් වසන්ත ආරියරත්න පැවසීය.

මාර්ගයේ රථවාහන වැරදි සිදුකරන රියැදුරන්ට අකුසලතා ලකුණු එකතු කිරීමේ හා ලකුණු සම්පූර්ණ වන රියැදුරන්ගේ රිය බලපත්‍ර තාවකාලිකව අවලංගු කිරීමේ ඩී මෙරිට් වැඩ පිළිවෙළ ඉදිරි මාස කිහිපය තුළ ආරම්භ කිරීමට නියමිත බවත් මෙම වැඩ පිළිවෙළට පැරණි රියැදුරු බලපත්‍ර සහිත පුද්ගලයන්ගේ රිය බලපත්‍ර ද ඇතුළත් කරගැනීමේ පියවරක් වශයෙන් පැරණි රියැදුරු බලපත්‍ර සියල්ලම අවලංගු කිරීමට තීරණය කර ඇති බවත් කොමසාරිස්වරයා කීවේය.

පැරණි රියැදුරු බලපත්‍ර ලාභීන් හට ප්‍රවාහන වෛද්‍ය සහතිකය ලබාගෙන නව රියැදුරු බලපත්‍රයක් අයදුම් කිරීමේ හැකියාව පවතින බවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.