කලා වැවේ වාන් දොරටුවේ තැන්පත් කර තිබූ නිදන් වස්තු සොරාගෙන ගිහින්

කලා වැවේ වාන් දොරටුවේ තැන්පත් කර තිබූ නිදන් වස්තු සොරාගෙන ගිහින්

ධාතුසේන මහ රජතුමා විසින් ඉදිකරන ලද කලා වැවේ ප්‍රධාන වාන් දොරටුවේ ගලක තැන්පත් කර තිබුණු නිදන් වස්තු කිසියම් පිරිසක් යන්ත්‍ර සුත්‍ර උපයෝගී කරගෙන ගල විද කඩා දමා රැගෙන ගොස් ඇතැයි මහවැලි අධිකාරිය ඉපලෝගම පොලිසියට පැමිණිලි කර තිබේ.

කලා වැවේ ඉපැරණි වාන ආසන්නයේම අධි ආරක්‍ෂිත කලාපයේ මෙය සිදුව තිබේ.

මෙම සිද්දිය මහවැලියේ ඇතැම් නිලධාරීන් පිරිසක් සැඟවීමට දැඩි උත්සාහයක නිරතව සිටින බැවින් ප්‍රදේශවාසීන් මේ පිළිබඳව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතාට දැනුවත් කර නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා සහාය පතා තිබේ.

බෝවතැන්න ජලාශ බාර ප්‍රධාන ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ තමන්ට ද ඊයේ උදෑසන මෙම සිද්ධිය පිළිබඳව දැන ගැනීමට හැකිවූ බවයි.

මෙම ක්‍රියාවලිය නිසා වැවේ වානට ද දැඩි බලපෑම් එල්ලවන නිසා වහාම නිලධාරීන් යොදවා පොලීසියට පැමිණිලි කරන ලෙස තමන් උපදෙස් දුන්නේ යැයි ඒ මහතා පැවසීය.

කලා වැව සහ බළලු වැව දෙකම එකම විශාල වානකින් ජලය පිටවන අතර අක්කර අඩි ලක්ෂයකට අධික ජලධාරිතාවයක් රඳවා ගබඩාකොට ඇති වානට පහළින් පිහිටි කළු ගල යන්ත්‍ර සූත්‍ර යොදා ගෙන ගල විද හාරා එහි තැන්පත් කොට තිබුණු නිදන් වස්තූන් රැගෙන ගොස් ඇතැයි ස්ථාන පරික්ෂා කරන ලද මහවැලි නිලධාරීන් මෙන්ම එම ස්ථානයට නිරීක්‍ෂණය සඳහා ගිය සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසීය.

මෙහි ආරක්ෂිත කලාපයේ බෝට්ටු සවාරි සඳහා පෞද්ගලික අයකුට අවසර ලබාදී තිබෙන බවත් එම අවසරය ලබාගත් පුද්ගලයන් අධි ආරක්ෂිත ප්‍රදේශවල සංචාරකයන් රැගෙන ගොස් තාවකාලිකව කූඩාරම් තනා එම ස්ථානවල නැවතී රැය පහන් කිරීම ආදී කටයුතුවල නිරත වන බවත් බෝට්ටු සවාරි අනුමත කරගෙන ආරම්භ කරන්නට වූයේ මෙම නිදහන් වස්තු සොරා ගැනීමට බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා චෝදනා එල්ල කළේය.

Share This