ජූඩ් ශ්‍රාමන්තට මෛත්‍රී දුන් සමාව ශ්‍රේෂ්ඨාධිකරණය යළි රිවස් කරයි

ජූඩ් ශ්‍රාමන්තට මෛත්‍රී දුන් සමාව ශ්‍රේෂ්ඨාධිකරණය යළි රිවස් කරයි

රාජගිරිය, රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රාමන්ත ජයමහට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය බලරහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) නියෝගයක් නිකුත් කළේය.

එලෙස ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි, ශ්‍රේෂ්ඨාධිකරණය එහිදී ප්‍රකාශ කළේ.

එස්.තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් මඩුල්ලක් යටතේ මෙම පෙත්සම විභාගයට ගැනිණි.

අදාළ නඩු තීන්දුවේදී ජූඩ් ශ්‍රාමන්ත ජයමහ නැමැත්තාට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමෙන් පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයවී ඇති බවද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය.

ඒ අනුව, මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රුපියල් ලක්ෂ 10 වන්දියක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවටත් නියෝග කෙරුණි.

මේ අතර, අගතියට පත් තරුණියගේ මවට සහ පියාට රුපියල් මිලියනය බැගින් වන්දි ගෙවන ලෙසත් මෛත්‍රිපාල සිරිසේන මහතාට තවත් නියෝගයක් නිකුත් කළේය.

මෙම ක්‍රියාව තුළින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතනාවිතව උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය මේ වන විට විදේශගතව සිටින අදාළ විත්තිකරු දේශීය හා ජාත්‍යන්තර සම්මුතින් උපයෝගී කරගෙන මෙරටට ගෙන්වීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසත් නීතිපතිවරයා නියම කළේය.

එම විත්තිකරුට ප්‍රදානය කරන ලද ජනාධිපති සමාව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එය බලරහිත බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඉල්ලා කාන්තා සහ මාධ්‍ය සාමූහික සංවිධානය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව දෙමින් එස්. තුරෙයි රාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝග ප්‍රකාශයට පත් කළහ.

පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සහ නීතිඥ රුක්ෂාන් සේනාධීර සහ රන්මලී මීපාගල පෙනී සිටියහ.

වින්දිතයන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පෙනී සිටියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා පෙනී සිටියේය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පෙනී සිටියේය.

නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ පෙනී සිටියේය.

Share This