ජොන්ස්ටන් ප්‍රනාන්දුට ඇප

ජොන්ස්ටන් ප්‍රනාන්දුට ඇප

මෙරටදී එකලස් කරන ලද, සුඛෝපභෝගී මෝටර් රථයක් නීත්‍යානුකූල නොවන අයුරින් මෙරටට ගෙන්වා, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකර පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇප මත මුදාහැර තිබේ.

ඒ ඔහු අද (30) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී ඔහුව රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප පහක් මත මුදාහැරීමටයි, කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කළේ.

එම සිදුවීම සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට බාධා නොකරන ලෙසද හිටපු අමාත්‍යවරයාට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

එසේම ඔහුට විරුද්ධව ගොනුකර ඇති තවත් චෝදනාවකට එළැඹෙන ජනවාරි 27 වෙනිදා මහාධිකරණයේ විභාගවන නඩුකරයක් සඳහා පෙනී සිටින ලෙසත් ඒ පිළිබඳ සාධක කොටුව අධිකරණයේ ගොනුකරන ලෙසත් මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කළාය.