කෝටි 18 ක් වටිනා රත්තරන් ජෙල් සමග 06 ක් කටුනායකදී අල්ලයි

කෝටි 18 ක් වටිනා රත්තරන් ජෙල් සමග 06 ක් කටුනායකදී අල්ලයි

රුපියල් කෝටි 18 ක් පමණ වටිනා රත්තරන් ජෙල් ගුලි වශයෙන් සකස් කර ඒවා තම සිරුරු වල, ගුද මාර්ගයේ සහ සිය ගමන් මලු තුළ සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි ශ්‍රී ලාංකිකයන් 06 දෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, කල්මුණේ, මූතූර්, කොළඹ – 10, කළගෙඩිහේන සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 30 ත් – 50 ත් අතර පසුවන, නිතර නිතර ගුවන් ගමන් වල නිරත වන පුද්ගලයන් හය දෙනෙකි

මොවුන් ඩුබායි සිට ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත පැමිණ එතැන් සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ – 1175 දරන ගුවන් යානයෙන් අද පස්වරු 01.20 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මෙම පුද්ගලයන් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් පරිලෝකන යන්ත්‍ර (Scan Test ) පරීක්ෂා කිරීම් වලට යොමු කිරීමෙන් පසුව අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

මොවුන් අතරින් පුද්ගලයන් සිව් දෙනෙකු මෙම රත්තරන් ජෙල් අඩංගු ගුලි සිය සිරුරු වල ගුද මාර්ග තුළත්, තවත් දෙදෙනෙකු තම ගමන් මලු තුළත් සඟවාගෙන මෙරටට පැමිණ තිබේ.

අත්අඩංගුවට ගත් රත්තරන් ජෙල් කිලෝ ග්‍රෑම් 08 යි ග්‍රෑම් 632 ක තොගය ගුලි 22 ක් ලෙස සකස් කර තිබූ බව ගුවන් තොටුපොළ රේගු නිලධාරීවරයෙකු පැවසීය.