ජනපති අපේක්ෂකයන් 39 දෙනාගෙන් 19ක් සද්දයක් නෑ

ජනපති අපේක්ෂකයන් 39 දෙනාගෙන් 19ක් සද්දයක් නෑ

මෙවර ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන් 19 දෙනකු මෙතෙක් කිසිදු ප්‍රචාරක කටයුත්තක් ආරම්භ කර නොමැති බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ (IRES) විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක පැවසීය.

මෙම අපේක්ෂකයන් ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව එකදු රැස්වීමක්වත් මෙතෙක් පවත්වා නැති බවද ඔහු පැවසුවේය.

ජනාධිපතිවරණයේදී ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇතුළු කටයුතු සඳ හා එක් අපේක්ෂකයකු වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව රුපියල් කෝටියක්, කෝටි එකහමාරක් පමණ වැය කරන බවද ඔහු කීවේය.

එවැනි තත්ත්වයක් තුළ ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන් ප්‍රචාරක කටයුතු නොකිරීම ගැටලු සහගත තත්ත්වයක් බවද ඔහු සඳහන් කළේය.

මෙවර ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෝ 39 දෙනකු ජනාධිපති ධුරය සඳහා තරග කරන අතර ඉන් එක් අයකු පසුගියදා මිය ගියේය.

ප්‍රචාරක කටයුතු මෙතෙක් සිදු නොකළ අපේක්ෂකයන් අතර, ස්වාධීනව තරග කරන අපේක්ෂකයෝ දස දෙනකු (10) පමණ සිටින බවද විධායක අධ්‍යක්ෂවරයා පැවසීය.

මෙවර ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතුවලදී පෝස්ටර්, කටවුට් භාවිතය අවමවී ඇතැයිද ඔහු පැවසුවේය.

එය ඉතා හොඳ තත්ත්වයක් බවද ඔහු සඳහන් කළේය.

මැතිවරණයේ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වී නැතැයිද ඔහු කීවේය.