ආරුගම්බේ ප්රහාර සැලසුම සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට
ශ්රී ලංකාවේ සිටින ඊශ්රායල ජාතිකයින්ට ප්රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු ත්රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගත් මෙම දෙදෙනාගෙන් එක් අයෙකු යාපනය ප්රදේශයේ ස්ථිර පදිංචිකරුවකු බවත් අනෙකා කොළඹ ප්රදේශයේ පදිංචි අයෙකු බවත් එම පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.
ඔවුන්ගෙන් එක් අයෙකුගේ පියා මාලදිවයින් ජාතිකයෙකි.
යාපනයේ පදිංචි පුද්ගලයා මේ වන කොළඹ ප්රදේශයේ පදිංචිව සිටින බවත් පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළේය.
කොළඹ ප්රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා ප්රහාරය සැලැස්මේ මහමොලකරු යැයි ද පැවසේ.
ප්රහාරය එල්ල කිරීමට එකඟවීමෙන් පසු මෙම පුද්ගලයන් දෙදෙනාට රුපියල් ලක්ෂ 50 ක මුදලක් ලබා දුන් බව මෙම සැකකරුවන් පවසා ඇති බවත් ප්රහාරක සැලැස්ම ක්රියාත්මක කිරීමෙන් පසු කෝටි ගණනක මුදලක් ලබා දීමට නියමිතව තිබෙන බවත් ඉහළ පෙළේ එම පොලිස් ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් දැන ගැනීමට ඇත.
ආරුගම්බේ සංචාරක කලාපයට ප්රහාරයක් එල්ල වන බවට විශ්වාසනීය තොරතුරු සමඟ අනතුරු ඇඟවීම් ලැබී ඇතැයි ශ්රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය ඊයේ (23) සඳහන් කළේය.
එමෙන්ම ඇමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ අනතුරු ඇගවීමේ නිවේදනය පදනම් කර ගනිමින් තවත් රටවල් කිහිපයක් ද ශ්රී ලංකාව සදහා වූ සංචාරක උපදෙස් ඊයේ දිනයේ යාවත්කාලීන කර තිබුණි.
එම අනතුරු ඇඟවීම් හේතු කොටගෙන ශ්රී ලංකාවේ සංචාරක නිකේතනවලින් ඉවත් වන ලෙස ඊශ්රායලය සිය පුරවැසියන්ගෙන් ඉල්ලීමක් ද කර තිබුණි.