ජනපති අපේක්ෂකයන් මැතිවරණ වේදිකාවල කියන කතා ගැන IMF අවධානයෙන්

ජනපති අපේක්ෂකයන් මැතිවරණ වේදිකාවල කියන කතා ගැන IMF අවධානයෙන්

ශ්‍රී ලංකා රජය සමග ඇති කරගත් ගිවිසුම් පිළිබඳව ජනාධිපති ධුර අපේක්ෂකයන් මැතිවරණ වේදිකාවල කරන ප්‍රකාශ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධානය යොමු කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බ්‍රෙවර්ගේ ප්‍රධානත්වයෙන් යුතු, ශ්‍රී ලංකාව නිරීක්ෂණය කරන නිරීක්ෂණ කණ්ඩායමක් මේ දිනවල මෙරටට පැමිණ ඇති අතර අදාළ නිරීක්ෂණ කණ්ඩායම විසින් මෙම ප්‍රකාශ පිළිබඳව අධ්‍යයනය කරමින් සිටියි.

මෙම නිරීක්ෂණ කණ්ඩායම, මහනුවර ජනාධිපති මන්දිරයේදී පෙරේදා (19) රාත්‍රියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡා කර ඇති අතර මේ සතිය ඇතුළතදී අනෙක් ජනාධිපති ධුර අපේක්ෂකයන් ද හමුවී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහර නැරඹීමට ද පෙරේදා (19) රාත්‍රියේ සම්බන්ධ වී ඇති මෙම නිරීක්ෂණ කණ්ඩායම විසින්, පෙරහර නරඹන ජනතාව නිදහසේ සිය කටයුතුවල නිරත වන්නේද යන්න සම්බන්ධයෙනුත් අධ්‍යයනයක නිරත වී ඇත.