බහරේනයේ සේවයට පැමිණෙන විදෙස් ශ්‍රමිකයින්ට ජාත්‍යන්තර බැංකු ගිණුමක්

බහරේනයේ සේවයට පැමිණෙන විදෙස් ශ්‍රමිකයින්ට ජාත්‍යන්තර බැංකු ගිණුමක්

බහරේනයේ රැකියා සඳහා, එරට ගුවන් තොටුපොලින් ඇතුළුවන සියළුම විදෙස් ශ්‍රමිකයින්ට ජාත්‍යන්තර බැංකු ගිණුමක් (IBAN- International Bank Account Number) ලබාදීමට බහරේනයේ කම්කරු වෙළඳපොල නියාමන අධිකාරිය (LMRA) පියවර ගෙන තිබේ.

මෙය මෙම වසරේ අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කරන බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

විදෙස් ශ්‍රමිකයින්ට මෙම ජාත්‍යන්තර බැංකු ගිණුම් හඳුන්වාදීම මගින් ශ්‍රමිකයා හා සේවා යෝජකයා අතර, ගෙවීම් තහවුරුවක් ලබාගැනීම හා නිවැරදි ගනුදෙනු සිදුකිරීම සහතික කිරීම අපේක්ෂා කරයි. එසේම ශ්‍රමික අයිතිවාසිකම් ආරක්ෂා කරමින්, ඔවුන්ගේ වැටුප් ගෙවීම් බැංකු මාර්ගයෙන් සිදුකිරීම විධිමත් කිරීමත්, වැටුප් සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පැවරීම අවම කිරීමත් බහරේන් රජය බලාපොරොත්තු වේ.

මේ පිළිබඳව වැඩි විස්තර බහරේනයේ කම්කරු වෙළඳපොල නියාමන අධිකාරිය (LMRA) හි වෙබ් අඩවිය වන www.lmra.gov.bh වෙත පිවිසීමෙන් හා 00973-17506055 අංකය ඇමතීම මගින් ලබාගත හැකිය.

විදේශ ශ්‍රමිකයින් බහරේනයට ඇතුළුවන අවස්ථාවේදී, එරට ගුවන් තොටුපොලේදී මෙම ජාත්‍යන්තර බැංකු ගිණුම් ලබාගැනීම සඳහා එරට රජය මගින් අවස්ථාව හා උපදේශන පහසුකම් සලසා දී තිබේ.